එය 1969 වසරේ නත්තල් සැන්දෑවකි. උතුරු මුහුදේ ශීතල දියඹෙහි තෙල් ගවේෂණයේ යෙදුන කණ්ඩායමකට අතිවිශාල තෙල් නිධියක් හමු වෙයි. එය එකෝෆිස්ක් නම් වූ තෙල් ක්ෂේත්‍රයයි (Ekofisk field). ධීවර කර්මාන්තයෙන් හා ගොවිතැනෙන් ජීවිතය ගෙන ගිය කුඩා නෝර්වේ රාජ්‍යය, එක රැයකින් නොසිතූ සම්පතකට හිමිකම් කියන රටක් බවට පත්විය.
මෙවන් වාසනාවක් අත් වූ බොහෝ රටවල් කරන්නේ කුමක්ද? උත්සව පවත්වති. මහා ගොඩනැගිලි ඉදිකරති. සම්පත වියදම් කරමින් සැපවත් ජීවිත ගත කලහැක්කේ කෙසේදැයි සොයති.
නමුත් නෝර්වේ වෙනස් මඟක් තෝරා ගත්තේය.
බැලූ බැල්මට කිසිවක් නොකළා සේ පෙනුණු ඒ තීරණය, පසු කලෙක නූතන ලෝකයේ බුද්ධිමත්ම ආර්ථික ක්‍රියාමාර්ගවලින් එකක් බවට පත් විය.
ස්වභාවධර්මය නොමසුරුව දුන් සම්පත බොහෝ රටවලට ආශීර්වාදයක් නොව, ශාපයක් වූයේය. නයිජීරියාව, වෙනිසුවේලාව, ලිබියාව වැනි රටවල ඉතිහාසය ඒ බවට සාක්ෂියකි. ධනය වැඩි වූ තරමට දූෂණය වර්ධනය විය. බලය සම්පත වටා රැස් විය. ජනතාව අතර පරතරය පුළුල් විය. අවසානයේ ආර්ථිකයත් සමාජයත් බිඳ වැටුණේය.
නෝර්වේ මේ සියල්ල නිහඬව නිරීක්ෂණය කළේය.
පහසුවෙන් ලැබුණු ධනය, පහසුවෙන්ම විනාශය කැඳවන බව ඔවුහු වටහාගෙන සිටියහ. එබැවින් සම්පත භුක්ති විඳීමට නොව, එය රැක ගැනීමට ඔවුහු තීරණය කළහ.
1990 වසරේදී නෝර්වේ පාර්ලිමේන්තුව ‘රජයේ විශ්‍රාම වැටුප් (ජාත්‍යන්තර ) අරමුදල’ (Government Pension Fund Global a.k.a. Norway Oil Fund) පිහිටුවීය. අද ලෝකය එය හඳුනන්නේ ‘නොර්වේජියානු ඛනිජ තෙල් අරමුදල’ ලෙසය.
එහි මූලධර්ම අල්ප වචනවලින් ප්‍රකාශ කළ හැකි තරම් සරල විය.
- තෙල් ආදායමෙන් ලැබෙන ලාභයේ සෑම ක්‍රෝනයක්ම අරමුදලට බැර කළ යුතුය.
- රජයට වැය කළ හැක්කේ එම අරමුදල උපයන ප්‍රතිලාභයෙන් ඉතා සුළු කොටසක් පමණි.
- ඉතිරි සියල්ල අනාගතය වෙනුවෙන් ආයෝජනය කර තැබිය යුතුය.
1996 දී සිදු කළ පළමු තැන්පතුව විශාල එකක් නොවීය. එහෙත් සැලැස්ම අත්හැරියේ නැත.
ආණ්ඩු මාරු වූහ. ආර්ථික අර්බුද පැමිණියේය. දේශපාලන මතවාද වෙනස් විය. එහෙත් එක් මූලධර්මයක් කිසිදා වෙනස් නොවීය.
“මේ ධනය අද ජීවත්වන අපට පමණක් නොව, තවමත් මෙලොව එළිය නොදුටු නොර්වේජියානු දරුවන්ටද අයත්ය.”
ඉන්පසු ඔවුහු ලොව පුරා ව්‍යාපාරවල කොටස් මිලදී ගත්හ. Apple, Microsoft, Amazon, Nestlé වැනි සමාගම්වලද, ලෝකයේ ප්‍රධාන නගරවල පිහිටි දේපළවලද ඔවුන් ආයෝජනය කළහ.
ක්ෂණික ලාභය ඔවුන්ගේ අරමුණ නොවීය. සූදුවක් සේ අවදානම් ගැනීමද නොවීය.
කාලය සමඟ වර්ධනය වන වත්කම් නිහඬව ගොඩනැගීම පමණක් ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.
අද එම අරමුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්නය.
මිලියන 5.6ක පමණ ජනගහනයක් සිටින රටකට එය සෑම පුරවැසියෙකුටම විශාල වත්කමක් නියෝජනය කරයි.

එහෙත් මේ කතාවේ වඩාත්ම වැදගත් කොටස තවත් එකකි.
අද එම අරමුදලේ ආදායමෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ තෙල් වලින් නොවේ.
එය ලැබෙන්නේ දශක ගණනාවක් පුරා ඉවසීමෙන් සිදු කළ ආයෝජනවල ප්‍රතිඵල වශයෙනි.
එනම්, ස්වභාවධර්මය දුන් සම්පත ඔවුහු මිනිස් ප්‍රඥාවෙන් නව සම්පතක් බවට පරිවර්තනය කළහ.
තෙල් නිධි කෙදිනක හෝ අවසන් වනු ඇත. එය ස්වභාව ධර්මයේ නියමයයි.
එහෙත් ඔවුන් ගොඩනැගූ අරමුදල එසේ පහව නොයනු ඇත. එහි ප්‍රතිලාභ අනාගත පරපුරේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ විශ්‍රාම දිවියට දිගු කලක් පෝෂණය සපයනු ඇතැයි විශ්වාස කෙරේ.
නෝර්වේ සාර්ථක වූයේ වඩා හොඳ තෙල් තිබූ නිසා නොවේ. වඩා දියුණු යන්ත්‍රෝපකරණ තිබූ නිසාද නොවේ. අසාමාන්‍ය වාසනාවක් ලැබුණු නිසාද නොවේ.
ඔවුන් සතු වූයේ අනාගතය පිළිබඳ සංයමයෙන් යුත් දැක්මෙනි.
1990 දී එම තීරණය ගත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක්, එහි අවසාන ප්‍රතිඵලය සියැසින් දැකීමට ජීවත් නොවූහ.
එහෙත් ඔවුන් ස්ථාවරත්වය ගොඩනැගුවේ තමන් වෙනුවෙන් නොව, තමන් කිසිදා නොදකින පරපුරක් වෙනුවෙනි.
ආර්ථිකයේ ශ්‍රේෂ්ඨත්වය පැන නගින්නේ අද ලැබෙන වාසියට වඩා හෙට උපදින මිනිසාගේ යහපතට වැඩි වටිනාකමක් දෙන ප්‍රඥාවෙනි.
තෙල් සොයාගැනීම තුළ දක්ෂකම නොවීය. බොහෝ රටවල් තෙල් සොයාගෙන තිබුණි.
ඒ දක්ෂකම සැඟවී තිබුණේ එයින් බහුතරය රැකගැනීමට, එය බුද්ධිමත්ව ආයෝජනය කිරීමට, සහ වහාම වියදම් කර දැමීම සඳහා එල්ල වූ සියලු දේශපාලන පීඩනවලට අඛණ්ඩව ප්‍රතිරෝධය දැක්වීමට ගත් මහාත්මික තීරණය තුළය.
ඒ සඳහා අවශ්‍ය වූයේ මැතිවරණ චක්‍රයේ ඊළඟ වටය පමණක් නොව, ඊට ඉක්මවා දුර දකින්නට හැකි දෘෂ්ටියකි.
ඒ සඳහා අවශ්‍ය වූයේ, තිස් වසරක් පුරා කිසිදු විචලනයකින් තොරව නීති රීති අනුගමනය කළ යුතු යැයි වූ ශික්ෂණයකි.
ඒ සඳහා අවශ්‍ය වූයේ, අනාගත නෝර්වේජියානුවන්ටද වර්තමාන පරපුරට මෙන්ම මෙම සම්පතට හිමිකම ඇතැයි නිහතමානීව පිළිගැනීමකි.
තව අවුරුදු පනහකට පසුව, නෝර්වේහි තෙල් ක්ෂේත්‍ර හිස්ව ගොස් යන්ත්‍ර නිශ්ශබ්ද වූ කලෙකද, නෝර්වේජියානු දරුවෝ නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනු ඇත, වයෝවෘද්ධ පරපුර සුරක්ෂිත විශ්‍රාම ජීවිතයක් ගත කරනු ඇත, මුළු ජාතියම සෞභාග්‍යයෙන් පිරි ඉදිරියට යනු ඇත, ඒ සියල්ලට පදනම් වන්නේ දශක ගණනාවකට පෙර නවතින ලද තෙල් ආදායමය.
මක්නිසාද 1990 වසරේදී නෝර්වේ රාජ්‍යය බොහෝ රටවල් නොගන්නා තීරණයක් ගත්හ.
ඔවුහු තමන්ට වඩා තමන්ගේ තම අනාගත පරපුරේ සුභසිද්ධිය තෝරාගත්හ.
ශ්‍රී ලංකාවේ අපි අපේ අනාගත පරපුරවල් උකසට තබමින් අද දිනය පහසුවෙන් ගත කිරීමේ මාර්ග සොයමු. ස්වභාවිකව රටට ලැබුන දේ මෙන්ම පැරැන්නන් ගෙන් උරුම වූ දේද විකුණා දැමිමට ගැනුම් කරුවන් සොයමින් සිටිමු. හෙට දවස විකුණා අද දවසේ ජීවත්වීමේ ලාංකික පිළිවෙත සමග නොර්වේජියානුන්ගේ පරාර්ථකාමී ලෝක දැක්ම සැසඳිය හැකිද?
කපිල දයාවංශ අමරතුංග
Dr. K.D. Amarathunga
Farouk Al-Kasim – the Iraqi who saved Norway from the Oil Curse.
නෝර්වේ රාජ්‍යයත් නෝර්වේ ජනතාවගේ ධනවත්භාවයත් නිර්මාණය කළ සංක්‍රමණිකයා
1969 වසරට පෙර නෝර්වේ යනු සාම්ප්‍රදායික මසුන් අල්ලන්නන්ගේ නිහඬ, සන්සුන් ජීවිතයෙන් පිරුණු රටකි. එහි සමාජය සරල වූ අතර ස්වභාවය සමඟ ගැළපුණු ජීවන රටාවක් එහි ජනතාවට හිමිව තිබුණි. එය එසේම ඉදිරියට ගියේ නම් අද නොර්වේ රාජ්‍ය ෆින්ලන්තයට හෝ අයිස්ලන්තයට සමීප තත්වයේ රටක් හැටියට දිස්වනු ඇත.
ඉරාකයේ සිට උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට පැමිණ සිටි ෆාරුක් අල් කාසිම් නම් තරුණයෙකු ඔහුට එංගලන්තයේදී හමුවූ නෝර්වේ ජාතික කාන්තාවක සමඟ විවාහ විය. විවාහයෙන් පසු ඔවුන් නැවත ඉරාකයට ගිය අතර, ඔහු ඉරාක පෙට්‍රෝලියම් සමාගමේ රැකියාවක් ලැබීය.
එහෙත්, ඉක්මනින්ම ඔවුන් නෝර්වේ වෙත පැමිණීමට සිදුවිය. ඔවුන්ගේ එක් පුතෙකු උපතේ සිටම බරපතල රෝගයකින් පීඩා විඳි අතර, උසස් වෛද්‍ය සත්කාර අත්‍යවශ්‍ය වීම එයට හේතුව විය.
ඉරාක පෙට්‍රෝලියම් සමාගමේ අත්දැකීම් සලකා ඔහු වහාම නෝර්වේ බලශක්ති අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළේය. එහෙත් 1960 දශකයේ නෝර්වේහි අරාබි ජාතිකයෙකු, විශේෂයෙන් ඉරාකයෙන් පැමිණි අයෙකු සේවයට ගැනීම සාමාන්‍ය දෙයක් නොවීය. ඒත්, ඔහුගේ තර්කවල ගැඹුරත්, තෙල් හා ගෑස් පර්යේෂණ පිළිබඳ ඔහුගේ විද්‍යාත්මක දැනුමත් හේතුවෙන්, ඔහුට අවස්තාවක් ලබාදීමට නොර්වෙජියානුවෝ තීරණය කළහ.
ෆාරුක්ගේ වැඩ කටයුතු බොහෝවිට ස්වාධීනව සිදුවිය. ඔහුට තීරණ ගැනීමටත් තම දැනුම අනුව කටයුතු කිරීමටත් අවසර ලැබුණි. මෙකල විදේශීය සමාගම් නෝර්වේ රජයේ අවසරය ඇතිව උතුරු මුහුදේ තෙල් සෙවීම කරමින් සිටියහ. විදේශීය සමාගම්වල විශ්වාසය සම්පූර්ණයෙන් නොලැබුණද, නෝර්වේ රාජ්‍යය ඔහුට “හිස් චෙක්පතක්” වැනි නිදහසක් ලබා දුන්නේය. ඔහු ජාත්‍යන්තර පර්යේෂණ සමීපව අධ්‍යයනය කළේය. බොහෝ සමාගම් මුහුද මීටර් 100ක් පමණ ගැඹුරට පමණක් සීමා වී සෙවීම් කළ බව ඔහු දැකගත්තේය. එහෙත් භූගත ගල් ව්‍යුහයන් පිළිබඳ විමර්ශනයෙන් ඔහුට අවබෝධ වූයේ, විශේෂිත ගල් ස්ථරයන් යට තෙල් සැඟවී ඇති බවය. ඇතැම් වාර්තාවල සඳහන් වන අන්දමට, තෙල් සොයාගැනීම පිළිබඳ බලාපොරොත්තු මැකී ගොස් සමාගම් අධෛර්යයට පත්ව සිටි සමයක පවා, ගවේෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම අනිවාර්ය කළ යුතු බව නෝර්වේ බලධාරීන්ට ඒත්තු ගැන්වීමට ඔහු දායක වූයේය. එබැවින් එම කතාවේ ගමන්මඟ හැඩගැස්වූ බලපෑම්කාරී චරිතයක් ලෙස ඔහු සැලකේ. එකෝෆිස්ක් තෙල් ක්ෂේත්‍රය සොයාගැනීමත් සමඟ බොහෝ දේ වෙනස් විය. ෆාරුක් ජාතික වීරයෙකු ලෙස සැලකුණි. නෝර්වේ රාජධානියේ ගෞරවයට පවා ඔහු හිමි විය.
එහෙත් ඒ සමඟම එක් මූලික කරුණක් පැහැදිලිවම ස්ථාපිත කිරීමට ඔහු උපරිම බලපෑම් සිදු කළේය.—තෙල් සම්පත සහ එහි හිමිකාරිත්වය සැමවිටම නෝර්වේ ජනතාවට අයත් විය යුතුය යන්නය.
ඉරාකයේ ජීවිතය ගත කළ කාලයේදී ඔහු තෙල් සම්පත් වැරදි ලෙස භාවිතා කරන ආකාරය අත්දැකීමෙන්ම දැක තිබුණි. තෙල් ක්ෂේත්‍රවලින් (oil fields) නිකුත් වන වායු බොහෝ විට දහනය කර දමමින් ශක්තිය නාස්ති කරනු ලැබූ අතර, එය පරිසරය දූෂණය කරමින් එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට බරපතල රෝගවලට හේතු විය.
තෙල් හා ගෑස් සම්පත් ජීවිතය හා පරිසරය විනාශ කළ හැකි බව ඔහු හොඳින් දැන සිටියේය. ඒ නිසා නෝර්වේ බලශක්ති සංවර්ධනයේ ආරම්භක කාලයේ සිටම පරිසරමය දෘෂ්ටිකෝණයක් ඇතුළත් කළ යුතු බව ඔහු උපදෙස් දුන්නේය. රාජ්‍යයද පෞද්ගලික සමාගමක් මෙන්ම ක්‍රියා කළ යුතු නමුත්, ජාත්‍යන්තර සමාගම් සමඟ තරඟකාරීව සිටීමට හැකි වන්නේ ගුණාත්මකභාවය, විනිවිදභාවය සහ තාක්ෂණය මත පමණක් බව ඔහු අවධාරණය කළේය. එහෙත් ඔහුගේ මූලික මතය වූයේ සම්පත් නෝර්වේ ජනතාවගේ බවය.
අද ආපසු බැලීමේදී ඔහුගේ සැබෑ දායකත්වය වූයේ තෙල් හා වායු සම්පත් වලින් ලැබෙන විශාල ආදායම භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඔහුගේ දර්ශනයය. සමාජවාදී හා සංවර්ධනමය චින්තනයකින් යුත් ඔහු, නෝර්වේ තෙල් අරමුදල (Norwegian Oil Fund) නිර්මාණය වීමට මූලික අදහස ලබා දුන්නේය. අද එය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2කට අධික වත්කම් කළමනාකරණය කරන ලෝකයේ විශාලතම ප්‍රාග්ධන අරමුදල් වලින් එකකි. එය නෝර්වේහි මිලියන 6ක් පමණ ජනතාවගේ වර්තමාන හා අනාගත සුභසාධනය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය විය.
නෝර්වේ, කිලෝමීටර් 9000කට වැඩි ගෑස් නල ජාලයකින් යුක්තව, යුරෝපයට ගෑස් සැපයුමේ ප්‍රමුඛ රටක් බවට පත්විය. ෆාරුක් අල් කාසිම් යනු, රටක වර්ධනයට සංක්‍රමණය කෙතරම් අත්‍යවශ්‍යද යන්නත්, දැනුමම පමණක් පිළිගත යුතු එකම මිනුම බවත් සිහිගන්වන විශිෂ්ට උදාහරණයකි.
Foundations of the “Norwegian oil model”:
- strong state control over petroleum resources,
- licensing rather than giving companies free rein,
- high taxation of oil profits,
- creation of a national oil company (later Statoil, now Equinor),
- establishment of the Norwegian Petroleum Directorate,
- policies aimed at maximizing long-term recovery from oil fields rather than quick extraction.
Many historians and journalists have described Farouk Al-Kasim as one of the people who helped Norway avoid the “resource curse” that has affected many oil-producing countries.











හොඳ ලිපියක්