Noges-oil-Fund

Norway Oil Fund සහ ලංකාවේ එදා වේල ප්‍රතිපත්ති

එය 1969 වසරේ නත්තල් සැන්දෑවකි. උතුරු මුහුදේ ශීතල දියඹෙහි තෙල් ගවේෂණයේ යෙදුන කණ්ඩායමකට අතිවිශාල තෙල් නිධියක් හමු වෙයි. එය එකෝෆිස්ක් නම් වූ තෙල් ක්ෂේත්‍රයයි (Ekofisk field). ධීවර කර්මාන්තයෙන් හා ගොවිතැනෙන් ජීවිතය ගෙන ගිය කුඩා නෝර්වේ රාජ්‍යය, එක රැයකින් නොසිතූ සම්පතකට හිමිකම් කියන රටක් බවට පත්විය.

මෙවන් වාසනාවක් අත් වූ බොහෝ රටවල් කරන්නේ කුමක්ද? උත්සව පවත්වති. මහා ගොඩනැගිලි ඉදිකරති. සම්පත වියදම් කරමින් සැපවත් ජීවිත ගත කලහැක්කේ කෙසේදැයි සොයති.

නමුත් නෝර්වේ වෙනස් මඟක් තෝරා ගත්තේය.

බැලූ බැල්මට කිසිවක් නොකළා සේ පෙනුණු ඒ තීරණය, පසු කලෙක නූතන ලෝකයේ බුද්ධිමත්ම ආර්ථික ක්‍රියාමාර්ගවලින් එකක් බවට පත් විය.

ස්වභාවධර්මය නොමසුරුව දුන් සම්පත බොහෝ රටවලට ආශීර්වාදයක් නොව, ශාපයක් වූයේය. නයිජීරියාව, වෙනිසුවේලාව, ලිබියාව වැනි රටවල ඉතිහාසය ඒ බවට සාක්ෂියකි. ධනය වැඩි වූ තරමට දූෂණය වර්ධනය විය. බලය සම්පත වටා රැස් විය. ජනතාව අතර පරතරය පුළුල් විය. අවසානයේ ආර්ථිකයත් සමාජයත් බිඳ වැටුණේය.

නෝර්වේ මේ සියල්ල නිහඬව නිරීක්ෂණය කළේය.

පහසුවෙන් ලැබුණු ධනය, පහසුවෙන්ම විනාශය කැඳවන බව ඔවුහු වටහාගෙන සිටියහ. එබැවින් සම්පත භුක්ති විඳීමට නොව, එය රැක ගැනීමට ඔවුහු තීරණය කළහ.

1990 වසරේදී නෝර්වේ පාර්ලිමේන්තුව ‘රජයේ විශ්‍රාම වැටුප් (ජාත්‍යන්තර ) අරමුදල’ (Government Pension Fund Global a.k.a. Norway Oil Fund) පිහිටුවීය. අද ලෝකය එය හඳුනන්නේ ‘නොර්වේජියානු ඛනිජ තෙල් අරමුදල’ ලෙසය.

එහි මූලධර්ම අල්ප වචනවලින් ප්‍රකාශ කළ හැකි තරම් සරල විය.

  • තෙල් ආදායමෙන් ලැබෙන ලාභයේ සෑම ක්‍රෝනයක්ම අරමුදලට බැර කළ යුතුය.
  • රජයට වැය කළ හැක්කේ එම අරමුදල උපයන ප්‍රතිලාභයෙන් ඉතා සුළු කොටසක් පමණි.
  • ඉතිරි සියල්ල අනාගතය වෙනුවෙන් ආයෝජනය කර තැබිය යුතුය.

1996 දී සිදු කළ පළමු තැන්පතුව විශාල එකක් නොවීය. එහෙත් සැලැස්ම අත්හැරියේ නැත.

ආණ්ඩු මාරු වූහ. ආර්ථික අර්බුද පැමිණියේය. දේශපාලන මතවාද වෙනස් විය. එහෙත් එක් මූලධර්මයක් කිසිදා වෙනස් නොවීය.

මේ ධනය අද ජීවත්වන අපට පමණක් නොව, තවමත් මෙලොව එළිය නොදුටු නොර්වේජියානු දරුවන්ටද අයත්ය.”

ඉන්පසු ඔවුහු ලොව පුරා ව්‍යාපාරවල කොටස් මිලදී ගත්හ. Apple, Microsoft, Amazon, Nestlé වැනි සමාගම්වලද, ලෝකයේ ප්‍රධාන නගරවල පිහිටි දේපළවලද ඔවුන් ආයෝජනය කළහ.

ක්ෂණික ලාභය ඔවුන්ගේ අරමුණ නොවීය. සූදුවක් සේ අවදානම් ගැනීමද නොවීය.

කාලය සමඟ වර්ධනය වන වත්කම් නිහඬව ගොඩනැගීම පමණක් ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.

අද එම අරමුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්නය.

මිලියන 5.6ක පමණ ජනගහනයක් සිටින රටකට එය සෑම පුරවැසියෙකුටම විශාල වත්කමක් නියෝජනය කරයි.

එහෙත් මේ කතාවේ වඩාත්ම වැදගත් කොටස තවත් එකකි.

අද එම අරමුදලේ ආදායමෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ තෙල් වලින් නොවේ.

එය ලැබෙන්නේ දශක ගණනාවක් පුරා ඉවසීමෙන් සිදු කළ ආයෝජනවල ප්‍රතිඵල වශයෙනි.

එනම්, ස්වභාවධර්මය දුන් සම්පත ඔවුහු මිනිස් ප්‍රඥාවෙන් නව සම්පතක් බවට පරිවර්තනය කළහ.

තෙල් නිධි කෙදිනක හෝ අවසන් වනු ඇත. එය ස්වභාව ධර්මයේ නියමයයි.

එහෙත් ඔවුන් ගොඩනැගූ අරමුදල එසේ පහව නොයනු ඇත. එහි ප්‍රතිලාභ අනාගත පරපුරේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ විශ්‍රාම දිවියට දිගු කලක් පෝෂණය සපයනු ඇතැයි විශ්වාස කෙරේ.

නෝර්වේ සාර්ථක වූයේ වඩා හොඳ තෙල් තිබූ නිසා නොවේ. වඩා දියුණු යන්ත්‍රෝපකරණ තිබූ නිසාද නොවේ. අසාමාන්‍ය වාසනාවක් ලැබුණු නිසාද නොවේ.

ඔවුන් සතු වූයේ අනාගතය පිළිබඳ සංයමයෙන් යුත් දැක්මෙනි.

1990 දී එම තීරණය ගත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක්, එහි අවසාන ප්‍රතිඵලය සියැසින් දැකීමට ජීවත් නොවූහ.

එහෙත් ඔවුන් ස්ථාවරත්වය ගොඩනැගුවේ තමන් වෙනුවෙන් නොව, තමන් කිසිදා නොදකින පරපුරක් වෙනුවෙනි.

ආර්ථිකයේ ශ්‍රේෂ්ඨත්වය පැන නගින්නේ අද ලැබෙන වාසියට වඩා හෙට උපදින මිනිසාගේ යහපතට වැඩි වටිනාකමක් දෙන ප්‍රඥාවෙනි.

තෙල් සොයාගැනීම තුළ දක්ෂකම නොවීය. බොහෝ රටවල් තෙල් සොයාගෙන තිබුණි.

ඒ දක්ෂකම සැඟවී තිබුණේ එයින් බහුතරය රැකගැනීමට, එය බුද්ධිමත්ව ආයෝජනය කිරීමට, සහ වහාම වියදම් කර දැමීම සඳහා එල්ල වූ සියලු දේශපාලන පීඩනවලට අඛණ්ඩව ප්‍රතිරෝධය දැක්වීමට ගත් මහාත්මික තීරණය තුළය.

ඒ සඳහා අවශ්‍ය වූයේ මැතිවරණ චක්‍රයේ ඊළඟ වටය පමණක් නොව, ඊට ඉක්මවා දුර දකින්නට හැකි දෘෂ්ටියකි.
ඒ සඳහා අවශ්‍ය වූයේ, තිස් වසරක් පුරා කිසිදු විචලනයකින් තොරව නීති රීති අනුගමනය කළ යුතු යැයි වූ ශික්ෂණයකි.
ඒ සඳහා අවශ්‍ය වූයේ, අනාගත නෝර්වේජියානුවන්ටද වර්තමාන පරපුරට මෙන්ම මෙම සම්පතට හිමිකම ඇතැයි නිහතමානීව පිළිගැනීමකි.

තව අවුරුදු පනහකට පසුව, නෝර්වේහි තෙල් ක්ෂේත්‍ර හිස්ව ගොස් යන්ත්‍ර නිශ්ශබ්ද වූ කලෙකද, නෝර්වේජියානු දරුවෝ නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනු ඇත, වයෝවෘද්ධ පරපුර සුරක්ෂිත විශ්‍රාම ජීවිතයක් ගත කරනු ඇත, මුළු ජාතියම සෞභාග්‍යයෙන් පිරි ඉදිරියට යනු ඇත, ඒ සියල්ලට පදනම් වන්නේ දශක ගණනාවකට පෙර නවතින ලද තෙල් ආදායමය.

මක්නිසාද 1990 වසරේදී නෝර්වේ රාජ්‍යය බොහෝ රටවල් නොගන්නා තීරණයක් ගත්හ.

ඔවුහු තමන්ට වඩා තමන්ගේ තම අනාගත පරපුරේ සුභසිද්ධිය තෝරාගත්හ.

ශ්‍රී ලංකාවේ අපි අපේ අනාගත පරපුරවල් උකසට තබමින් අද දිනය පහසුවෙන් ගත කිරීමේ මාර්ග සොයමු. ස්වභාවිකව රටට ලැබුන දේ මෙන්ම පැරැන්නන් ගෙන් උරුම වූ දේද විකුණා දැමිමට ගැනුම් කරුවන් සොයමින් සිටිමු. හෙට දවස විකුණා අද දවසේ ජීවත්වීමේ ලාංකික පිළිවෙත සමග නොර්වේජියානුන්ගේ පරාර්ථකාමී ලෝක  දැක්ම සැසඳිය හැකිද?

කපිල දයාවංශ අමරතුංග

Dr. K.D. Amarathunga