“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් “ආර්ථික වාදයෙන්” ඔබ්බට විකල්ප පර්යාලෝක වෙත යොමුවක්.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන්නයි. රටක් පොහොසත් වීම යනු GDP ඉහළ යාම මගින් මනින පටු ආර්ථික වාදයෙන් ඔබ්බට ගෙන නොයන්නේ නම් ආර්ථිකවාදීන්ගේ ගැටයට ජාතික ජන බලවේගය රජය හසුවනු ඇත. එහෙයින් ‘පොහොසත් රටක්’ යන්න ආර්ථිකවාදී නිර්වචනයෙන් ගලවා ප්‍රතිනිර්වචනය කිරීමත්, ‘ලස්සන ජීවිතයක්’ යන්න ‘පරිභෝජනවාදී’ හැල්මේ දිවීමෙන් ගලවා ‘ප්‍රතිඅර්ථකථනය’ කිරීමත් අප ඉදිරියේ ඇති අභියෝගයකි. වෙනත් ලෙසකින් කිවහොත් ජාතික ජනබලවේගයේ දිශානතිය විය යුත්තේ මධ්‍යවාම කතිකාවත් විසින් යෝජනා කරන නව ජාතික ජීවන විලාසයක් වෙතය. මෙය හුදෙක් රජයකට කල හැක්කක් නොවෙතත්, ඒ දිශානතිය සලකුණු කිරීමට රජයට හැකිය. IMF සමඟ ගමන් කරන්නට සිදුවී තිබීමේ යථාර්ථය පිළිගෙන වැඩ කරන අතරම, ආර්ථික වැඩපිළිවෙලට සීමා නොවීම ආර්ථිකය දර්ශනය ද ඇතුලත් සමස්ත ජීවන දර්ශනයක් වෙත යොමු විය යුතුය. මිනිසුන් පවතින්නේ ආර්ථිකය නැමැති අභූත බලවේගය විසින් නටවන්නට නොව ආර්ථිකය පැවතිය යුත්තේ මිනිසුන් ගෙන් ද සමන්විත සමස්ථ ජෛව පද්ධතිය විසින් නිර්ණය කරන්නට යන්න නිර්භීතව ප්‍රකාශ කරමින් ආර්ථික ඔස්‌තාත්වරුන්ට අභිමුඛ වීමට අපට සිදුවේ.
මෙම පත්‍රිකාව මේ අදහස් ගැඹුරින් සාකච්ඡා කරමින් දැනට පවතින විකල්ප ආර්ථික ජීවන දර්ශන සමාලෝචනය කරමින් පොහොතක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රති අර්ථකථනය කරනු ඇත.
මේ සම්බන්ධයෙන් මා සකස් කළ ලිපිය කොටස් දෙකක් යටතේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික වාදයෙන් ඔබ්බට.
හැඳින්වීම:
‘පොහොසත්කම’ කම සහ ‘දුප්පත්කම’ මුදලෙන් මනින්නාවූ ආර්ථිකයක් අපේ සමාජයේ ආරම්භ වූයේ කවර දාකද යන්න පිළිබඳව සාක්ෂි සොයාගැනීම දුර්ලභ වුවත්, ප්‍රාග් ඓතිහාසික ‘කාසි’ හමුවීම තුළ මුදල ආර්ථික සාධකයක් වී අනාදිමත් කාලයක සිට පැවත තිබීම ස්පර්ශනීය සාක්ෂි වලින් සනාථ වී ඇත. එසේම ‘ලස්සන’ සහ ‘අවලස්සන’ ජීවිත වර්ගීකරණය ගැනද තොරතුරු සිංහල සාහිත්‍යය සහ කලාව තුළ නොඅඩුව විද්‍යමාන වී ඇති අතර ඉසුරුමත් රාජාදිරාජ මහාමාත්‍ය ආදී ස්ථරයක් මෙන්ම දුක්ඛිත සාමාන්‍ය ජන සමූහය සහිත ස්ථර ගැනද බොහොමයක් සාක්ෂි හමුවී ඇත. මෙම හේතු නිසාම පොහොසත් සහ ලස්සන යන සන්නාමගත වචන වලින් ජනිත කරන මතුපිට භෞතිකවාදී අර්ථ දැනවීම් ලාංකීය ජන සමාජය තුළ ඉතා ගැඹුරට පැලපදියම් වී ඇත. එහෙත් ඊට එහා ගිය ගැඹුරු අරුතක් ප්‍රායෝගික කලයක උපාය මාර්ගිකව සන්නිවේදනය නොකර මෙම ‘සන්නාමය’ අර්ධ යටත්විජිතවාදී සහ අර්ධ වැඩවසම් සන්දර්භයක ජීවත් වන ලංකාවේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අපහසුය. එසේම ආර්ථිකය නම් වූ අදෘශ්‍යමාන හස්තය පරිභෝජනවාදය නැමති නූතනවාදී සහ පශ්චාත් නූතනවාදී පසුතල මත නාභිගත වී ඇති ඝනත්වය මත එය චලනය සඳහා අධික ගාමක බලයක් ද යෙදවිය යුතු වේ. වර්ධනය මැනීම සඳහා දළ ජාතික ආදායම (GDP) නම් වූ දර්ශකය යොදා ගැනීමට රාජ්‍යයන් හුරුවී ඇත්තේ මෙකී ඝනත්වය බිඳ දැමීමට ඇති අකමැත්ත මෙන්ම අපහසු තාවය හේතුවෙනි. එමනිසා සෑම රජයක් විසින්ම ඔවුන් ළඟාකර ගන්නා ‘ඊනියා වර්ධන ඉලක්ක’ සංවර්ධන ඉලක්ක ලෙස ව්‍යාජ නමකින් හඳුන්වා ජනතාව මුලාවක ගිල්වන ක්‍රීඩාවක නිරතව සිටීයි. එසේම අන්තර්ජාතික වර්ධන ආයතන පවා මෙකී ක්‍රීඩාවේ අම්පයර්ලා බවට පත්ව සිටී.
එහෙත් ප්‍රගතිශීලී වාමවාදී ආණ්ඩුවක් පිහිටවූ ජාතික ජනබලවේග රජයේ පැහැදිලි අරමුණ විය යුත්තේ එකී ක්‍රීඩාවේ නිරත වීම නොවන බව ඒකාන්තයෙන්ම පැහැදිලි එකකි. ඔවුන් බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක වන්නේ සත්‍යවශයෙන්ම ජනතාවගේ ‘සංවර්ධන’ ඉලක්ක සපුරා ලීම මිස ‘වර්ධන සංඛ්‍යාලේඛන’ හුවා දැක්වීම නොවේ. එසේනම් මෙම සංකල්පයේ ගැඹුරු අර්ථ දැනවීම සඳහා ‘පොහොසත්’ වචනයේ මතුපිට අර්ථය වන rich වෙනුවට thriving නම් වූ ගැඹුරු අරුත; එනම් සිංහල වචනයේ ගැඹුරු අර්ථය වන ‘සත් භාවය’ ‘පොහොණි’ කිරීමේ අර්ථයට අනුව මෙතක් ගලා ආ ‘වර්ධන දර්ශක’ වෙනුවට ‘සංවර්ධනය දර්ශක වෙත යොමු වීමේ අභියෝගයට මුහුණ දීම රජයේ දිශානතිය විය යුතුයි.
දළ ජාතික නිෂ්පාදන GDP දෙස වපර ඇස් යොමු කරන්නෙ ඇයි?
සංකල්පයේ ඉතිහාසය
දළ ජාතික ආදායම් සංකල්පය 1935 දී සයිමන් කුෂ්නෙට් (Simon Kuznets) විසින් හඳුන්වා දෙන ලද්දේ මෙම දර්ශකය භාවිතා කිරීම තුළින් යම් රාජ්‍යයක හෝ ජනතාවකගේ සුබ සිද්ධිය මැනීම සඳහා සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බවට කර ඇති පිළිබඳව අනතුරු ඇඟවීමක් තිබියදී ය. එසේ වුවද 1944 දී මෙම දර්ශකය අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ලද්දේ, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ජාතීන් අතර සහයෝගීතාව පවත්වා ගැනීමට අවශ්‍ය මුල්‍ය විනය තහවුරු කිරීම අරමුණු කරගෙන ය. එසේ වුවද රටක ජනතාවගේ හෝ එම දේශයේ සුබසිද්ධියට වඩා එම රටේ සමස්ත නිෂ්පාදන සහ මූල්‍යමය විනය පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බ්‍රෙට්න්වුඩ් සමුලුව විසින් වැඩි වටිනාකමක් ලබා දී ඇත. එතැන් පටන් මේ සඳහා ඉදිරිපත් වූ විවිධ විවේචන එල්ල කිරීම් මධ්‍යයේ වුවද, සමස්ත ලෝක ප්‍රජාවටම මෙම දර්ශකය අයත්නයෙන් වැළඳ ගැනීමට යුහුසුලු විය. ඒ අනුව දළ ජාතික ආදායම පදනම් කරගත් ඒක පුද්ගල ආදායම සහ දළ ජාතික ආදායමේ කාලීන වර්ධනය මත පදනම්ව සැකසුණු වර්ධන අනුපාත ‘සංවර්ධනය’ මැනීමට සහ සංවර්ධන ඉලක්ක ප්‍රක්ෂේපණය කිරීම යොදා ගැනීම අඛණ්ඩව සිදු විය.
ඒ අනුව ලංකාවේ ද සමස්ත නිෂ්පාදන වර්ධනය පදනම් කරගත් ආර්ථික සංවර්ධන ඉලක්ක සහ ඒ සඳහා අවශ්‍ය ‘මූල්‍යමය දත්ත’ මත පදනම් අයවැය වලින් සමන්විත ආර්ථික සහ අයවැය හිඟය පියවන උපාය මාර්ග වන ණය පහසුකම්, මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති සහ ඒ මත පදනම් සංඛ්‍යාත්මක ඉලක්ක සහ ව්‍යාපෘති දිගේ ගලාගෙන එනු ලැබූ ආර්ථිකය 2022 දී බංකොලොත් භාවයට පත්විය. මෙකී බංකොලොත් භාවය පදනම් කරගෙන ඇතිවූ මහාජන අරගලය ජනාධිපතිවරයා තනතුරින් පන්නා දැමුවද, ඉන් පසුව ස්ථාපනය වූ ජනාධිපති වරයාට බංකොලොත් භාවයට තුඩුදුන් හේතු ග්‍රහණය කරගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය ජාතික ජන බලවේග රජය අතිවිශාල ජයග්‍රහණයක් ලබා බලයට පත් වූයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින් සන්නාම ගතකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය අතැතිව යි. මේ සන්නාමය ගෙන එනු ලැබුවේ 2022 වසරේ දී බංකොලොත් භාවයක් ප්‍රකාශ කරමින් ලෝකය හමුවේ අප ප්‍රදර්ශනය කළ ‘දුප්පත් කම’ ට එරෙහි අධිෂ්ඨන පූර්වක පොරොන්දුව යි.
අන්න එතනදී අපිට සැබැවින්ම සිද්ධ වෙනවා සැබෑ පොහොසත් කමට වඩා මේ දුප්පත්කම කුමක් ද යන්න අවබොධ කර ගැනීමට. දුප්පත් වචනය පාලි භාෂාවේ ‘දුප්පඤ්ඤ’ නම් වචනයෙන් බිඳී ආ වචනයකි. ප්‍රඤ්ඤා යනු ප්‍රඥාවන්තයා වන අතර දුපඤ්ඤ යනු අඥාන හෙවත් ප්‍රඥාව හීන තමයි. දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ අපට බංකොලොත් භාවයට ලක් වූයේ මෙතෙක් අප ආ දළ ජාතික නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමේ දුප්පඤ්ඤ ‘වර්ධන’ ප්‍රතිපත්ති හේතුකොටගෙන දියත් කළ ව්‍යාපෘති සංවර්ධන ඉලක්ක ලෙස ක්‍රියාත්මක කිරීම නිසා යන්න දෙස හැරී බැලීමේ ප්‍රස්තුතය යි.
GDP එරෙහි විවේචන
ලෝකය පුරා සමස්ත නිෂ්පාදනයේ එකතුව පදනම් කරගත් දළ ජාතික නිෂ්පාදිතය හැම විටම ‘ද්‍රව්‍යමය නිෂ්පාදන වර්ධනය’ පදනම්ව සිදුකල අතර, ආරම්භයේ සිටම මේ සඳහා එල්ල වූ මූලිකම විවේචනය පදනම් වූයේ ඉවක් බවක් නොමැතිව නිෂ්පාදනය වෙනුවෙන් කරන සම්පත් නාස්තිය සහ විනාශයයි. ඉන් වඩාත්ම ප්‍රචලිත සංකල්පය ඉදිරිපත් කළේ 1973 දී ඊ. එෆ්. ෂූ මාකර් (E.F. Schumacher) විසින් මානව පරිමාණයේ සංවර්ධන ඉලක්ක පදනම් කරගත් සරළ, කුඩා පරිමාණයේ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගත් සංකල්පය යි. මෙය ලංකාවට ඉතාම වැදගත් වන්නෙ මෙහි පරිච්ඡේදයක්ම බෞද්ධ ආර්ථික මුලධර්ම වෙනුවෙන් වෙන්කර තිබීමයි. බෞද්ධ සංස්කෘතික වටිනාකම් අනුව හැඩ ගැසුණු ලංකාවේ වුවද ‘පොහොසත්කම’ සංජානනය වූයේ ද්‍රව්‍යමය සම්පත් හිමිකාරීත්වය සහ ඒවායේ මූල්‍යමට වටිනාකම් අනුවය. සේ වුවද ‘ධනය’ අර්ථකතනය පිළිබඳ විවිධ තර්ක විතර්ක පැවති බව පිළිබඳ බෞද්ධ සාහිත්‍යය තුළ ද නොයෙක් වර සාක්ෂි හමුවෙයි. මංගල කෝලාහලය නම් වූ කතිකාවත පදනම් වූයේ මිනිසාගේ සතූට පදනම් වන්නේ ‘ද්‍රව්‍යමය වස්තු’ ලඟාකර ගැනීමෙන් ද නොඑසේ නම් ආධ්‍යාත්මික සතුට ලඟාකර ගැනීමෙන් ද යන ප්‍රස්තුතය යි. එසේම ආලවක සූත්‍රය පදනම් වන්නේ මිනිසා උතුම් ලෙස දක්වන ‘ධනය’ යන පදයෙහි අර්ථකතනය කුමක්ද යන්න විභාග කිරීම මතයි. කෙසේ වුවද එකී පැරණි කතිකාවත් පසෙක තබා පශ්චාත් නූතනවාදී කතිකාවත් විමසා බැලීම අදට වඩා වැදගත් වනු ඇත.
ෂූ මාකර් සංකල්පය ලොව පුරා පශ්චාත් වාමවාදී කතිකාවත අතරද ජනප්‍රිය වූ අතර ලොව පුරා ප්‍රචලිත වූයේ Brundtland commission 1987 ඉදිරිපත් කළ සම්මුතිය යි. එමගින් හුදු වර්ධන ඉලක්ක වෙනුවට සමස්ත ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම, සම්පත් අනාගත පරපුර සඳහා ඉතිරි කිරීම සහ මහපොළොව සහ පරිසරයට මිනිසා මුදාහරිනු ලබන පීඩනය අවම කිරීම මූලික කරන ලදී. ඒ අනුව එකී තිරසාර සංවර්ධන මූල ධර්ම වල සාකල්‍ය ප්‍රජා සහභාගිත්වය, සමාජ ආර්ථික අසමානතාවය අවම කිරීම සහ කාන්තාව බලගැන්වීම් මූලික වූ අතර, එයට සමපාත බෞද්ධ දර්ශනය ඇසුරු කරගත් දාර්ශනික නිර්ණායක සමග ඉදිරිපත් වූ පශ්චාත් නූතනවාදී සංවර්ධන ක්‍රියාවලිය ගෝලීය ධනවාදයට සහ පරිභෝජන වාදයට එරෙහි ඒවා විය. ඒ අතර ප්‍රධාන වශයෙන් තායිලන්ත රජු වූ භූමිබෝල් අදුල්‍යා (King Bhumibol Adulyadej) තායි ජනතාව වෙත මුදා හළ බෞද්ධ මූලධර්ම අනුව සංකල්පගත කරන ලද (sufficiency economy) සෑහීමකට පත්වන ආර්ථික සංකල්පය බටහිරට පවා පැතිරී යන ලදී. ඒ සමගම භූතානයේ King Jigme Singye Wangchuck balancing GDP And material and spiritual gain එවැනිම බෞද්ධ ආර්ථික දර්ශනය මග යමින් දළ ජාතික සතුට (Gross National Happiness) නව ආර්ථික දර්ශක අතර සැලකිල්ලට බඳුන් විය.
මෙවැනි ආන්දෝලනාත්මක GDP විවේචන හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ට මේවා මගහැරීම අපහසු වූ අතර, ඒවා න්‍යායික වශයෙන් පිළිගැනීමට සිදුවිය. සමාජ අසමානතා, සුබ සාධන, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය විෂමතා, අධ්‍යාපනය සහ සෞඛ්ය පිරිහීම් සමාජයීය සංකූලතා ආදිය නොසලකා, භෞතික නිෂ්පාදනය මිල මත පමණක් පදනම් කරගෙන ගණනය කරනු ලැබීම පිළිබඳව විවිධාකාර විවේචන වල ඒකමතික පොදු සාධකය වන්නේ GDP වර්ධනය මානය සංවර්ධනය මනින මිනුම් දණ්ඩක් නොවන බවයි.
මේ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අද සමස්ත සංවර්ධනය සඳහා යොදා ගනු ලබන්නේ HDI මානව සංවර්ධන දර්ශකය වන අතර, ඒ සඳහා දළ ජාතික නිෂ්පාදනයට අමතරව අධ්‍යාපන සහ සෞඛ්‍යය සංවර්ධන මිනුම් ඒකාබද්ධ කොට ඇත. එහෙත් අධ්‍යාපනය ලෙස ගන්නා සමස්ත ජනතාවගෙ සාමාන්‍ය පාසල්යන වර්ෂ ගණණ (expected years of schooling) සහ උපතේ දී ආයු කාලය වැනි දර්ශක ද සැබෑ ඵලදායී බුද්ධි මට්ටම හෝ යහපත් සෞඛ්‍ය තත්වයන් ප්‍රකාශ නොකරන අතර, එම දර්ශක තීරකයා වන්නේ ද දළ ජාතික ආදායමේ ගුණිතය යි. මෙම දුර්වල තාවයන් මගහැර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ම IHDI සමාජ අසමානතා දර්ශකය, GDI ස්ත්‍රි පුරුෂ සමාජභාවීය දර්ශකය, MPI බහුවිධ ද්‍රරිද්‍රත දර්ශකය සහ PHDI පෘථිවි තලයට පීඩන බලපෑම් දර්ශකය යන දර්ශක යොදා ගෙන තිබේ.
ලංකාව දියුණුයි ද?
ශ්‍රිලංකාව මානව සංවර්ධන දර්ශකයේ ඉහළ ශ්‍රේණියේ අගයක් වන 0.766 ක් ගන්නා අතර එම අගය දකුණු ආසියාවේ ඉහළම එකකි. එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දර්ශකයේදී ලංකාව ලෝකය් ඉහළම අගයක් දරන තත්වයට, එනම් දර්ශකය 0.951 බවට පත්වේ. එහෙත් මෙම දර්ශකයන් කිසිවකගෙන් ප්‍රාදේශීය අසමානතාවයන් පිළිඹිඹු නොවේ. එසේම මෙම ඉහළ අගයන්යේ අර්ථ විරහිත බව පෙන්නුම් කරන්නේ සමාජ අසමානතාවය සහ බහුවිධ ද්‍රරිද්‍රතා දර්ශක විමසා බැලීමෙනි.
සමාජ අසමානතාවය හෙවත් ඇති නැති පරතරය පෙන්නුම් කරන IHDI දර්ශනයට අනුව සමස්ත මානව සංවර්ධන දර්ශකය ලබා තිබු ඉහළ අගය 18% කින් පහළ වැටෙන අතර ඒ අනුව සමස්ත අගය 0.630 දක්වා පහළට වැටේ. වඩාත්ම ඛේදනීය තත්වය පෙන්නුම් කරන්නෙත් බහුවිධ ද්‍රරිද්‍රතා (multidimensional poverty) පෙන්නුම් කරන MPI අගයයි. රට පොහොසත් කිරීමේදී වඩාත් ප්‍රවේශම් වියයුතු සාධකය වන්නේ මෙයයි. ඇති නැති පරතරය මෙන්ම එකී ‘නැතිබවේ දරුණුකම’ හෙවත් අඩු ආදායම්ලාභී ජනතාව කොතරම් පීඩිත සහ අවදානම් තත්ත්වයක් තුළ ජීවත් වන්නේ ද යන්න ඉන් සනාථ වේ. ඉහළම අගයක් ගත් 0.776 දර්ශක අගය ජනතාවගේ සැබෑ ද්‍රරිද්‍රතාවය ගණනය කිරීමේදී, එනම් සෞඛ්‍ය අධ්‍යාපනය සහ මනා ජීවන තත්ත්වයක් නඩත්තු කිරීමට ඇති හැකියාව ගණනය කිරීමේදී එම අගය 0.067 දක්වා පහත වැටී ඇත. මෙම අගය මෙතරම් පහළ වැටීමට මූලිකම හේතුව කඳුකරයේ වතුකම්කරු ප්‍රජාව සහ නාගරික සහ ග්‍රාමීය අන්ත දුගී ජනතාව යි. එසේම ජනගහනයෙන් 16% ක් බහුවිධ ද්‍රරිද්‍රතා පෙන්නුම් කරන අතර 41.6% ක් ආර්ථික පීඩනයෙන් පෙළෙයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේ මූලිකම ඉලක්කය යොමු විය යුත්තේ මෙම තත්වයේ ප්‍රාමාණික වෙනසක් සඳහා පනින පිම්මකිනි. එහෙත් වත්මන් රජය ඉදිරියේ ඇත්තේ දැවැන්ත ආර්ථික අර්බුදයක තණ පිටියකි. ඇත්ත වශයෙන්ම මේ අර්බුදය ලෙසින් අප ඉදිරියට පැමිණ ඇත්තේ ද 0.776 ක් වන දළ ජාතික ආදායම පදනම් කරගත් සමස්ත ආර්ථික වර්ධන මට්ට්ම සැබෑ බහුවිධ ද්‍රරිද්‍රතා පෙන්වන 0.067 මට්ටමේ ඇති අසමානතාවයම නේද? ආර්ථිකය බෙල්ල මුලට හිරවී තිබුණද, GDP හෝ HDI ඉලක්ක කරගෙන කරණු ලබන වර්ධන ඉලක්ක කිසිවක් සමාජ අසමානතාවය හෝ බහුවිධ ද්‍රරිද්‍රතා දර්ශකය ඉහළ නැංවීම කෙරේ බලපෑමක් සිදු නොකරන බව මින් මනාව පැහැදිලි ය.
ඔබ දන්නවා ද බහුවිධ ද්‍රරිද්‍රතාවය අතින් අපේ රට ඉන්දියාව බංග්ලාදේශය සහ පකිස්ථානයටත් වඩා පහළ බව?
GDP ට එරෙහි මීළඟ වැදගත්කම සංකල්පය වන්නේ ද්‍රව්‍යමට අත්පත්කරගැනීම් වලට ගෙවීමට සිදුවන අධික මිලයි. පරිභෝජන ද්‍රව්‍යමය වෙළෙඳ පල අද නවීකරණය වී ඇත. ඒ අනුව ද්‍රව්‍යමය අත්පත් කරගැනීමට අමතරව වැඩි මිලක් ගෙවිය යුතු අස්පර්ශනීය ද්‍රව්‍ය වලට අධික ඉල්ලුමක් නිර්මාණය වී ඇත. එනම් සමාජයේ ආකර්ශණීයව කැපී පෙනීම සඳහා ශරිරයේ හැඩය පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න බව ඉක්මවා ගොස් ඇත. සමාජයිය ඉගෝව නඩත්තු කිරීම අතික්‍රමණය කරමින් සමාජයේ ජනප්‍රියතාවය රඳවා ගැනීම සඳහා ඉල්ලුමක් නිර්මාණය වී ඒ සඳහා අධික මිලක් නියම වී ඇත. මේවාට ඇති ඉල්ලුම සපිරීම සඳහා කරනු ලබන ආයෝජන තාක්ෂණය පදනම් කරගෙන ස්ථාපිත පරිභෝජන ආර්ථික යථාර්ථයෙන් මිදී එක්වර පලා යා නොහැක. එසේනම් රජයේ දිශානතිය සනිටුහන් කරන ප්‍රධාන ආර්ථික සංකල්ප දෙස තරමක් අවධානය යොමු කර බලමු.
ජාතික ජන බලවේගය දිශානතිය
වාමාංශික ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පවා නාමකරණය කරනු ලැබූ සුවිශේෂී බල හුවමාරුවක් ලෙස ලංකාවේ බලය මෙහෙයවන රජයේ දිසානතිය සලකුණු වී තිබෙන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිමය සංදර්භයකය. පොහොසත් කම සහ ලස්සන ජීවිතය ගොඩ නැගීම සඳහා රජය දියත් කල ප්‍රධානම තුන් වැදෑරුම් ප්‍රතිපත්ති වන්නේ ඩිජිටල්කරණය, පවිත්‍රකරණය සහ දුප්පත්කම තුරන් කිරීම යි. ලිබරල් ලෝකය අද රැඳී ඇත්තේ තාක්ෂණික ධනේශ්වර දෙබලක් මතයි. ඩිජිටල්කරණය වැදගත් වුවද වඩා වැදගත් වන්නේ එය ඉතිරි දෙවැදෑරුම් ප්‍රතිපත්ති වලට කරන වැර ගැන්වීම මතයි. පවිත්‍රකරණය වඩාත්ම වැදගත් වන්නේ දුෂණය සහ අක්‍රමිකතා මගහැර වඩාත් කාර්යක්ෂම රාජ්ය පරිපාලන යන්ත්‍රණයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සමාජ අසමානතාවය තුරන් කිරීමේ එයින් ලැබෙන පිටිවහල යි.
වත්මන් රජයේ GDP වර්ධන නැමියාව ඛණ්ඩනය කර, අසමානතාවය අවම කිරීමේ මෙහෙවර දෙසට යොමු කරන ප්‍රධාන ගාමක ප්‍රතිපත්තිය වන ද්‍රරිද්‍රතාවය පිටු දැකීමේ වෑයම විමසා බැලීම වැදගත්. එසේම මේ තුනම එක්ව රටේ නිෂ්පාදන ආර්ථිකය නගාසිටුවීමට මේ තුනම එක්ව ක්‍රියාත්මක වන පිළිවෙළ අනුවයි.

ද්‍රරිද්‍රතාවය පිටු දැකීම
දුප්පත්කම තුරන් කිරීම පිණිස නිදහසින් පසු මෙතෙක් සියළුම රජයන් ක්‍රියාත්මක කළ අස්වැසුම සහ පොහොර සහනාධාර ආදිය දිගටම ක්‍රියාත්මක කරනු ලබයි. ජනතාව යැපුම් මට්ටමේ තබන මෙම ක්‍රියාදාමය එකවරම වෙනස් මගකට ගැනීම නොහැකි අතර, වෙනසක් ලෙස මෙම සියළුම දීමනාවල මූල්‍යමය ආධාර වැඩිකර ඇත. එමෙන්ම මෙතෙක් ක්‍රියාත්මක කර ඇති, ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා සඳහාද යම් ප්‍රමාණයක ඉහළ දැමීමක් සහ අලුතින් අධ්‍යාපන දිමනා ඇතුළත් කර ඇත.
එහෙත් දුප්පත්කම තුරන් කිරීම සඳහා මේවායේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස් කිරීමක් සිදුවීමක් කොහෙත්ම අපේක්ෂා කළ නොහැකිය.බහුවිධ ද්‍රරිද්‍රතා දර්ශකය ඉහළ නංවන මූලිකම උපාය මාර්ගය ලෙස වත්මන් රජය ඉදිරිපත් කර ඇති උපාය මාර්ගය වන්නේ ‘ප්‍රජා ශක්ති’ වැඩ සටහන යි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් ලෙස ප්‍රජාව ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා බල ගැන්වීමට සහ එමගින් ඔවුන්ගේ යැපුම් ආර්ථිකය සහ යැපුම් මානසිකත්වය මගහැර ස්වාධීනව නැගී සිටීමට හැකියාව ලබා දීම සඳහා ප්‍රජාව බලගැන්වීම හෙවත් සමාජ සජීවීකරණය ‘ප්‍රජා ශක්ති’ උපාය මාර්ගයේ ප්‍රධාන ඉලක්කය යි.
එහෙත් එහි දැනට කැපී පෙනෙන පරස්පරය වන්නේ ‘ප්‍රජා ශක්ති ව්‍යුහය’ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙමින් නැවතත් මධ්‍යගත වර්ධන ඉලක්ක සාක්ෂාත් කරන ‘පීතෘ මූලික GDP ප්‍රමුඛ’ මධ්‍යගත රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වීමයි. සංවර්ධනයේ තිරසාර බව සහතික කරන මව්වත් මෙහෙවර ඉටුකරනු ලබන්නේ ‘පළාත් පාලන යන්ත්‍රණය’ විසිනි. එයට හේතුව ජාතික දත්ත මත පදනම් වන මූල්‍යමය ඉලක්ක හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන වර්ධන ආයෝජන ඒ ඒ පළාතට සහ ගමට අදාළව සිදු කළ යුතු සංවර්ධන සැලසුම් ක්‍රියාවලිය තීරණය කරනු ලැබිය යුතු වන්නේ පළාත් පාලන යන්ත්‍රණය මෙහෙයවනු ලබන ප්‍රජා නායකත්වය මගින් වීමයි.
ලංකාවේ රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය බ්‍රිතාන්‍ය පාලකයින් විසින් සකස් කරන ලද්දේ රටේ එතෙක් පැවති ග්‍රාම සහ ප්‍රාදේශීය පරිපාලන පද්ධතිය පදනම් කරගෙන වුවද, එහි ප්‍රධාන කාර්යභාරය වූයේ මධ්‍යම රජයට ආදායම් එකතු කර දීමයි. Revenue officer හෙවත් ආදායම් පාලක නිලධාරිගේ ප්‍රධාන කාර්ය එය වූ අතර ජනතාවට රජයේ සේවය ලැබුණේ රේඛීය අමාත්‍යාංශ හරහා ලබාගන්නා දත්ත පදනම් කරගෙනය. ජනතා සහභාගීත්වය හෝ ජනතාව විසින් ජනතාවට තීරණ ගැනීමේ කාර්යය ඔවුන්ට පැවරීමක් මේ යටතේ සිදු නොවුණු අතර, පළාත් පාලන ආයතන පිහිටුවීම යනු මෙකී මධ්‍යගත යන්ත්‍රණය ප්‍රාදේශීය මට්ටමට ආපසු හැරවීමකි. එනම් භූමියේ අවශ්‍යතාවය අනුව, අදාළ භූමියට අදාළ තීරණ ගැනීම සඳහා ප්‍රාදේශීය නායකයින්ට බලය විසුරුවා හැරීමයි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී පරාසය ලිබරල් වල්බූරුත්වය පරයා ඉදිරියට ගැනීමට අවශ්‍ය මග සකසා දීමයි. ගම් සභා, සුළු නගර සභා, නගර සභා සහ මහනගර සභා පිහිටුවන ලද්දේ මෙකී මව්වත් මෙහෙවර සඳහා යි.
එහෙත් පසු කාලීන දේශපාලන සංදර්භය ක්‍රියාත්මක වූ ආකාරය අනුව සහ විවිධාකාර දේශපාලන සංකූලතාවයන්, බලයේ උස්පහත් වීම් සමග අදවන විට අපේක්ෂිත මව්වත් අරමුණ මගහැරී පළාත් පාලන ආයතන දේශපාලන පක්ෂ වල අතකොළු පමණක් බවට පත්විය. එම තත්ත්වය මගහැරවීමට ගතයුතු ක්‍රියාමාර්ගය ලෙස නැවතත් ‘රාජ්‍ය පරිපාලනය’ නැමැති ආර්ථික වර්ධන පිය උරුමය සමස්ත පාලන තන්ත්‍රයේ උත්තරීතර භාවයට පත්ව ඇත.
දැනට රාජ්ය පරිපාලන සහ පළාත් පාලන යන්ත්‍රණ දෙකම එකම අමාත්‍යාංශයක් යටතේ පැවතුණද, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් යන ආයතන දෙක ක්‍රියාත්මක වන්නේ දුරස්ථ කාර්ය පටිපාටින් දෙකක ය. එමෙන්ම රාජ්‍යය අධිකාරීවාදය මුල් කරගෙන රාජ්‍ය පරිපාලන තන්ත්‍රය ‘චවුනිසමයක්’ හෙවත් ස්වෝත්තමතාව නඩත්තු කරමින් සිටී.
එසේම සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන සහ ඒ සම්බන්ධ තීරණ ක්‍රියාත්මක කරන මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ය. එසේම පාලාත් සභා විසින් අනුයුක්ත නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වයි. එවන් තත්ත්වයක් යටතේ ප්‍රජාව subjects බවට (යටත්වැසියන්) පත්වීමේ නැමියාව දිගින් දිගටම නොකඩවා පවතියි.
ප්‍රජාමූලික ප්‍රජාවගෙන් සමන්විත විය යුතු ප්‍රජා ශක්ති සභාවට තම ප්‍රජා බල ගැන්වීම කරගැනීමට සිදුව් ඇත්තේ මෙකී දැවැන්ත බලාධිකාරයක් සමගයි. ප්‍රජා ශක්ති ක්‍රමවේදය රාජ්‍ය යාන්ත්‍රණය තුළට කොටු වීමක් මේ තුළ පැහැදිලිව පෙනී යයි. ඒ තත්ත්වය තුළ රාජ්‍ය යාන්ත්‍රණය අතිශය ප්‍රබල වීම නිසා රජයේ සුපුරුදු වැඩපිළිවෙළම ජනතාවාදී නව නාමකරණයකින් ප්‍රාදූර්භූත වීමේ සම්භාවිතාව වැඩි වේද යන සැකය දැනට මතුවන ගැටළුවකි.
එසේම ප්‍රජා ශක්ති ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රාදේශීය මට්ටමින් පවතින සියලුම ස්වේච්ඡා සංවිධාන ව්‍යුහයක් ගේ umbrella සංවිධානය ලෙසයි. එහෙත් දැනට ප්‍රජා ශක්ති ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීයය පවතින විවිධාකාර ස්වේච්ඡා සංවිධාන අතරට එක් වෙන තවත් එක් සංවිධානයක් ලෙසයි. අනෙකුත් සියලුම සංවිධාන එලෙසම වෙන වෙනම ස්වාධීන යෙහෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
ප්‍රජාශක්ති යනු ඇත්ත වශයෙන්ම ප්‍රගතිශීලී මුහුණුවරක් ගත් වාමාංශික සම්භවයක් සහිත සංවිධාන ව්‍යුහයක් විය යුතුයි. 2022 අරගලය තුළ බලාපොරොත්තු වූ නව දේශපාලන සංස්කෘතිය මහපොළොවේ සිටුවන සංවිධානය විය යුත්තේ ද ප්‍රජා ශක්ති ව්‍යුහයයි. එහෙත් එම සංවිධානය කලිං ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක කළ CDC ආකෘතිය පදනම් කරගෙන සහභාගිත්ව අයවැය සඳහා ගමන් කරවීම බරපතලම අභියෝගය යි.
මෙම අභියෝගයට ශක්තිමත්ව නිසි මුහුණ නොදුන හොත් රජයේ ‘පොහොසත් රටක්’ සංකල්පයට එරෙහිව නැගී එන GDP ප්‍රමුඛත්වය නැමති අභ්‍යන්තර පරස්පරය ඉදිරියට මතු වනු ඇත. එමගින් පිය උරුම රාජ්‍යය යාන්ත්‍රණ උපාය මාර්ගය අම්රිතා සෙන් පවසන ‘nannying’ රජය විසින් ජනතාව රැකබලා ගැනීම මගින් ප්‍රජාව බලගැන්වීම වෙනුවට ජනතාවගේ පෞද්ගලික නිදහස සීමා කිරීම සහ ඔවුන් බල රහිත කිරීමේ පියවරක් වනු ඇත. අම්රිතා පෙන්වා දුන් සංවර්ධනය ‘සැබෑ මානව නිදහස’ නිදහස් දේශපාලන නිදහස පහත සඳහන් අංග ඇතුළත් විය යුතුයි.
*අදහස් ප්‍රකාශනය සහ සිවිල් අයිතිවාසිකම් භුක්ති විඳීම,
*ආර්ථික නිදහස හෙවත් දෛනික ආහාර සපයා ගැනීමේ පොරයෙන් විතැන් වීම,
*අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් වෙත ළඟාවීම
*සමාජ ආරක්ෂණ ය තහවුරුව තිබීම
*සමස්ත නිදහස පිළිබඳ සංජානනීය හැඟීම් දැනීම සහිත පුරවැසියන් වීමේ හැකියාව
මේවා නොමැති නම් සැබෑ විමුක්තිය GDP දර්ශනය කොයිතරම් ඉහළ ගියද සහතික කළ නොහැකි බව තේරුම් ගැනීමට අද ජනතාව පොහොසත් ය.
Author of this article can be contacted at Sumana Wijeratna




