සාහිත්‍යය සංවාද කියන්නේ සංවාද විසංවාද වෙලා සුසංවාද දක්වා ඇදී යන ක්‍රියාදාමයකට මිස ප්ලැට් නියාය දාලා අනිකා නිශේදනය කරලා දාන එකට නොවෙයි. සීලවතී සින්ඩ්‍රෝමය ගැන මා ලිවූ විචාරයකයකට එරෙහිව ඉදිරිපත් කරපු ප්‍රබල විචාරයකට පිළිතුරක් ලෙස එම කෙටිකතා පොත ගැන සම්පූර්ණ විවරණයක් කරන්න තමයි මම මේක ලියන්න අදහස් කළේ. ඒත් එක්කම මම ඉතාම සතුටු වෙනවා ඒ පොත මෙවරත් ස්වර්ණ පුස්තක දිගු ලැයිස්තුවට ඇතුලත් වී තිබීම ගැන.
මගේ ඒ විචාරය කළේ කෙටිකතා පොතේ ‘සීලවතී සින්ඩ්‍රෝමය’ කතාව ගැන විතරයි, හැබැයි මගේ අදහසම තහවුරු කරන තවත් ප්‍රබල කතා තුනක් ගැන මම ඒ විචාරයේම සඳහන් කරලා තියෙනවා. මේ විසංවාදය මතු වෙන්න ප්‍රධාන හේතුව වූයේ මම සඳහන් කරපු එක දෙයක්. ඒ තමයි ලංකාවේ වාමාංශිකයා (පැරණි සහ නව) බිහිවුණු සමාජ දේහය අර්ධ වැඩවසම් සහ අර්ධ යටත්විජිතවාදී එකක් කියන කරුණ.
මගේ අදහසට එරෙහිව රළ පුවත් පතට කරුණු ඉදිරිපත් කළ සහෝදරයාගේ අදහස වන්නේ මේ චරිත ගොඩනැගෙන සංදර්භය මම කියන එක හෙවත් විජේවීර එදා කියපු එක නොවෙයි, ලංකාව ‘පසුගාමී ධනේශ්වර’ රටක් කියන එක. කැමති අය ඒක කියවා ගන්න.
මට මෙතන අපැහැදිලි දෙය තමයි ‘රළ’ විචාරකයා (පෙරටු ද ජවිපෙ ද කියා නොදනිමි) තියෙන ප්‍රති තර්කය කුකක්ද කියන එක. හේතුව විජේවීරගේ වචනය හෙවත් මාවෝවාදී තර්කය වන අර්ධ වැඩවසම් සහ අර්ධ යටත්විජිතවාදී දෙමුහුන් සමාජ දේහය තමයි අද පවා අපේ සමාජය වෙලා ගෙන තියෙන්නේ. ඒ නිසාම බිහිවී ඇති විකෘති දරුවා තමයි අද අපේ රටේ පැලපදියම් වෙලා තියෙන ‘ලුම්පන් ධනේශ්වර’ ආර්ථිකය බිහිවුණු සමාජ දේහය.
පොතට යන්ට කලින් අර දෙමුහුන් දරුවා ගැන යමක් කියන්න වෙනවා. මම ‘අර්ධ’ කියන එකෙන් අදහස් කළේ විජේවීරගෙ හිතේ තිබුණු එකක් වත් වෙනත් පොතක ලියලා තිබුණු එකක් වත් නොවෙයි. මම අදහස් කළේ ඒ දෙකම එකතු වෙලා හැදිලා තියෙන හයිබ්‍රිඩ් එකක්. එකක් තමයි යටත්විජිතවාදී පාලන තන්ත්‍රය විසින් ස්ථාපිත සුද්දන්ට භයගැති කම, සුදු හමට තියෙන ආශක්තය, ඉංග්‍රීසි කතාව ඉංග්‍රීසි නීතිය සහ කොටින්ම ක්‍රිස්තියානි මුලධර්ම වාදී නීති අනුව සකස් වික්ටෝරියානු සුචරිතවාදය සහ ඒකට ගැලපෙන්න හදාගත්ත ඕල්කොට් බුද්ධාගම සහිත මනෝභාවය; අර්ධ යටත්විජිතවාදී පියා. එතකොට අම්මා තමයි අර්ධ වැඩවසම් අපේ රාජාණ්ඩු සම්ප්‍රදාය. ඒ තමයි පාංශුකුල, ආත්ම ගණනකට කල්දමන බමුණු බුද්ධාගම පදනම් කරගත් නිවන, විහාරගම් වලට ගැතිබව, සම්ප්‍රදායික කුල පදනම් මත පංසල් සහ සමාජ සංස්ථා වලට යටවීම, සිංහයාගෙ අභිමානය සහිත ජාතිය නිර්මාණය වීමේ ඉතිහාසය, සිවුරේ ආධිපත්‍යය සහිත සංස්කෘතිය, පිරිවෙන් පදනමන සහ බණ සම්ප්‍රදාය මත ලබණ ප්‍රධාන දැනුම් පද්ධතිම මාධ්‍යය ජාලය සහිත අපේ රටේ හැදිලා තිබුණු වැඩවසම් යටහත් පහත් බව.
මෙන්න මේ දෙක ඒකාබද්ධ වෙලා තමයි ඔය සමාජ දේහය කියන දරුවා හැදෙන්නේ යටත් විජිත කාලයේ. හැබැයි මේ දරුවා නැමති සමාජ දේහය සම්පූර්ණයෙන්ම ආබාධිතයි කියලා මම කියන්නේ නෑ. ළමයාට සංඥානන හැකියාව හොඳට තියෙනවා හැබැයි ‘හීනයි ග්‍රාම්‍යයි පෘගත්ජනයි’ සහ කාම සුඛල්ලිකානුයෝගයට වැඩියෙන් බරයි, ධනවාදියාට ලැග සිටින්න හොඳම වාතාවරණය එතන තියෙනවා. එතන තමයි ආර්ථික ලුම්පන් ධනවාදය ගොඩනැගුණේ. ඒ ජාන වලට තමයි ජර්මානු මාක්ස්වාදය inject අපේ. හැබැයි 1960 -70 වෙද්දී සමාජ දේහයේ පරිධියෙන් විශාල කොටසක් ඒ මානසිකත්වය වෙලාගෙන සිටියා. කෙනෙකුට පුළුවන් ඒකට පසුගාමී ධනවාදය කියන්න. වරදක් නැහැ. අද ආර්ථිකය පොෂණය වන ධනේශ්වරය කියන්නේ අර පරණ එකේ අංශු මාත්‍ර වෙනසක්වත් නොකර, ඒකටම නව ලිබරල්වාදී මාත්තුව එකතු කරලා වාත්තු කරලා හදපු විකෘති ආබාධිත දරුවා. ලෝකේ කොහෙවත් නැති තරම් විකෘතිමත් දේහයක් හැදුනා. ඒකට දෙන නම ආර්ථික පසුගාමීත්වය වෙන්න පුළුවන්, කෙසේවෙතත් දකුණු ආසියාවේ ද්‍රරිද්‍රතා දර්ශනය පහළම, HDI වැඩිම රට බවට ලංකාව ලක්වෙලා හොඳටම ලෙඩ වෙලා කියන එකනම් පේනවා.
ඕක ගැන තව තව ලියන්න ගියොත් මට පොත ගැන ලියන්න වෙන්නෙ නැහැ. ඒ නිසා ඒ ගැන පසුව කතා කරමු. අන්න ඒ සංදර්භය මත තමයි මම සීලවතී සින්ඩ්‍රෝමය නාභිගත කරන්නේ. එතකොට මේ සමාජ සන්දර්භය ඇතුළෙ තමයි කතුවරයා ගොඩනගන වාමාංශික පියා පන්නරය ලබන්නේ සහ සීලවතී පුදන සිරුර රිසිසේ ස්පර්ශ කරලා හීන කුලයෙ එකියක් නිසා තමන්ට අයිති කර ගැනීමේ ආශාව යටපත් කරගෙන දුර ගමනක් ඇවිත් ටිබෙටයේ බවුන් වඩන ‘අද පුතාට’ ජානගත වෙලා තියෙන්නෙත්.
“අලුත් ආණ්ඩුවෙන් අපට යහපතක් වේයැ?” කතුවරයා උපහාසය එල්ල කරන්නේ LSSP සහ CP ආදී පැරණි වමට විතරක් කියල හිත හදා ගත්තට කමක් නෑ. හැබැයි කතුවරයා උපහාසය එල්ල කරන්නේ, ‘අනුර මේක කොහොම හරි ගොඩදානවා’ කියලා ගමේ බුලත්විට හපලා පාරට කෙළ ගහලා උදම් වෙවී ඉන්න ජන්ද දායකයාට වගේම ‘අනුරට ඕක කොරන්න කොහොමත් බෑ’ මයි කියන අධි වාමාංශික බලකායටක් එක්ක කියන එක නම් මට සහතිකයි. (සුන්බුන් විපක්ෂ අදාලම නෑ)
එහෙනම් අපි මොකද්ද කරන්න ඕනෑ? අන්න ඒක තමයි වැදගත්. අනුර කරනකල් බලාඉන්න එකවත් අනුරගෙ ඔලුව කන්න හදන එකවත් නොවෙයි, මාක්වාදයේ විශ්වීය සත්‍යය ගලපා ගන්න නම් ‘අපේ සංදර්භය’ හෙවත් සමාජ දේහයේ යථාර්ථය කියන අර හයිබ්‍රිඩ් එක අපි හොඳින් අවබොධ කරගන්න ඕනෑ. ඕක තමයි කැකිරාවෙ හාමුදුරුවෝ කියන දේශපාලනයට යොදා ගන්නා පුළුවන් චතුරාර්ය සත්‍යාවබෝධය. (ගැඹුරු දහමේ එක නොවෙයි). මේ කතාව 1956 දී සීලවතී ඉපදුණු ගමේ ඉඳලා 2026 දක්වා ලෝකෙ පුරාවටම විසිරිලා ඉන්නා (දෙමල හා සිංහල) ඩයස්පෝරාව දක්වාම ශ්‍රිලාංකීය වාමාංශිකත්වය පිළිබඳ ‘කාලයේ හා අවකාශයේ’ නියෝජනයක්.

මීළඟට අපි ගමු පාන්කිරිත්තෝ. අපි දන්නවා උන් කාගෙවත් රාමු, සම්ප්‍රදායන්, නීති කොටින්ම වික්ටෝරියානු බුද්ධාගමේ තකතිරු සුචරිත වාදයන් වලට පයින් ගහන ගමන් තම සිතැත්ත අනුව වැඩ කරනවා කියන කාරණය. ඒ තමයි බොහෝ විට ජෙන් Z සහ ඊට මෙහා පරම්පරාව. ඒකට අත ගහන්න පරණ හෝ අලුත් වම කියන දෙකටම බෑ. කොන්සර්වෙටිව් සිංහල බුද්ධාගම් කාරයන්ට කොහෙවත් ම බෑ. රනිල් ටත් බෑ. කාටවත් බෑ, පුළුවන් නම් මේ වෙනකොට මොනවා හරි කරලා. අඩු තරමින් දණ්ඩනීති සංග්‍රහය හරි වෙනස් කරන්න කතිකාවක් පටන් අරගෙන තියෙනවා ද?
LGBTQ සහ ඔවුන්ගේ වර්ණාවලියේ විවිධත්වයන් මානවීයව දකින්න අර හයිබ්‍රිඩ් පරම්පරාවට කල්ප ගාණකට බැහැ. අපේ රටේ අඩුතරමින් ඒ අයට ඉන්දියාවේ වාගේ නෛතික අවහිරතාව අයින් කරලා දාන්න පුලුවන් ද? විශේෂයෙන්ම අපේ රටේ වාමාංශික යැයි කියා ගන්නා කීයෙන් කී දෙනාද මේ සමරයි ෆෝභියාවෙන් විතැන් වෙලා ඉන්නේ? ලිබරල් කීවට වැඩිපුර බයි ටොයියන්ට සමරයි කියන්නේ ලෙඩක්. උදාහරණ කෝටියක් දෙන්න පුළුවන්. අවශ්‍ය නෑ නම් දාන්න. හැබැයි අපට පිළිගැනීමට වෙනවා මේකට හේතුව අර හයිබ්‍රීඩ් එක. ගල්කන්දේ ස්වාමීන් වහන්සේ transgender මළ ගෙදරට ගියා. කාදිනල්ලා එයි ද?
ඇත්තටම ඔය ඩයස්පෝරාවේ වැඩි දෙනෙකුට ඔය ප්‍රශ්නෙ තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ. ලංකාවේ ඉඳලා මෙහෙ ඇවිත් දරුවන්ගෙන් ශ්‍රී ලාංකික අභිමානය කියලා මොකද්දෝ එකක් බලපොරොත්තු වෙලා sexual orientation වෙනස් කරන්න උත්සාහ කරන දෙමව්පියන් කොච්චර ඉන්නවද? ඇයි එහෙම වෙන්නේ? ධනවාදී පසුගාමිත්වය ද? ඒක නිෂ්පාදනයට සම්බන්ධයි ද? පසුගාමී චින්තනය. ආර්ථිකය කොච්චර ඉහළ ගියත් ඉලොන් මස්ක් කොහොමද? ඇලන් ටියුරින්ට සලකපු හැටි දන්නවානෙ. හැබැයි ඒ පරණ එංගලන්තයේ. අද නොවෙයි.
මීළඟට අපි ගමු අර දිග කිරිබත සහ ජාතිකවාදය. කතාවෙ නම ‘දරු දෙන්නෙක්’. තමන්ගේ දරුවගෙ උපන්දිනය දවසේ තමයි ප්‍රභාකරන් මැරෙන්නෙ. පහුවදා ප්‍රභාකරන් ගෙ පුතත් මැරෙනවා. කොළඹ විහාරමහාදේවී උයනෙ සම්භාව්‍ය කිරිබතක් ඉදෙනවා. මිනිසුන් උදම් වෙනවා, මහාලෙකු මගුළකින් උද්දීපනය වෙනවා.
මම යුධ විරෝධී යි, මම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට විරුද්ධයි, කලරිසම්, වයිට් සුප්‍රීමසි ඒ සේරෝටෝම විරුද්ධයි, මම නිර්පාක්ෂික වාමාංශිකයි, මම රැකියාව ආරම්භ කළ දවසේ ඉඳලාම ලංකාවේ අන්ත දුගී දුප්පත් ම ජන ප්‍රජාව වන නගරසභා කම්කරු නිවාස එක්ක වැඩ කළා. කුරුණෑගල හංදියෙන් පටන් අරං මහයියාව, පල්ලෙකැලේ, නුවරඑළිය හැම තැනම අන්තිමට කුරුණෑගල විල්ගොඩ. හැබැයි ප්‍රාභාකරන් මැරුණු වෙලාවෙ හුස්මක් හෙලුවෙ ඒ අමානුෂික යුද්ධය ඉවරයි කියලා. මගෙ ඒ හීනි සතුට; එතනදී මමත් අමානුෂිකයි, මගේ ස්ථාවරය හමුවේ විරෝධාභාසයක් එතන තියෙනවා තමයි. මම කිරිබත් කාපු හැමෝම හෙලා දැක්ක. කිරිබත් කාලා අර ළමයා මැරුණු එකත් හොඳයි කියපු එක හෙලා දකිමින් තමයි මේ කතාව අහවර කරන්නෙ. ඒත් මිනිස්සු කිරිබත් කෑවා. ඇයි ඒ?
ඒ තමයි අර හයිබ්‍රිඩ් සමාජ දේහයේ ජාන වල ප්‍රබලත්වය. කොහොමද ඔච්චර ප්‍රබල වුණේ? අර 77 න් පස්සේ සමාජ දේහයේ ජාන වලට ෆේක් ලිබරල්වාදී බද්ධ වුණා. 83 ඒක මුවහත් කළා. ඊට පස්සේ යුද්දෙ පටන් ගත්තා. ඒ මතින් හෙළයේ මහා ගැලවුම්කරු වූ රාජපක්ෂ නම් වු බුදුන්ගේ ලේ උරුමය සහිත දුටුගැමුණු රාජෝත්තමවාද රිංගිවා හරිම සූක්ෂම විදියට. ඒක inject වීම ආරම්භ වුණේ 90 දශකයෙ සිටයි. ප්‍රධාන මාධ්‍යය සහ චිත්‍රපට හරහා ඇදී ආපු ඒ ජාතිකවාදී දුටුගැමුණු උත්තමවාදය අර විකෘති දේහය ඇතුළටම පිවිසුනා. ඒ අය නිර්ලජ්ජිතව කිරිබත් කනවා, හැබැයි කිරිබත් පෝලිමේ ගිහින් ආපහු හැරී ආපු පිරිස් පවා ඉන්නවා. මිනිසුන්ට දොස් කියන්න බැරි ඒකයි.
ඔන්න ඔය හේතුව නිසයි පරණ වම, විජේවීරගෙ වමට විතරක් නොවෙයි දැන් වම කියලා වෙනසක් නැතුවම වාමාංශිකයා අස්සට පොදු සාධකයක් වුණේ ජාතිකවාදය රිංගුවේ. අපි දන්නවා පෙරටුගාමී ජේවීපී බෙදෙන්න කලින් ඒ අය ගාවත් ජාතිකවාදය අන්තර්ජාතික නිර්ධනපංති හඬ අබිබවා ආවා. හේතුව අහේතුව නොවෙයි. අහේතුකවාදය බුදුන් පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි හේතුවාදය නොවෙයි හේතුඵල වාදී චක්‍රය. ඒක තමයි වෙලා තියෙන ඒකට හේතුව සහ වෙච්ච විදිහ. ඒක තමයි මම සඳහන් කළ හයිබ්‍රීඩ් සමාජ දේහය. ඒක වමට දකුණට නොවෙයි දිගට හරහට ඔඩු දුවන තැනට පත් වුණා. ඒ නිසයි ලක්ෂ 65 ගෝඨාවක් නිර්මාණය වුණේ.
මගේ මුල් විචාරයට ආපු ප්‍රතිචාරය ගැන විතරක් සලකලා මම මේ කතා වල වාමාංශිකයා බිහිවීම ගැන ලීවත්, පොතේ ඉලක්කය ඒ තර්කය අභිබවා මුල්ම කතාව ‘අවුරෝරා හෙවත් උදෑසන දේවියකගේ කතාව’ ගත්තහම එතන තියෙන්නේත් ලිබරල් ටොයි වෙස්මුහුණු දාගෙන වැලපෙන අර සමාජ සංදර්භය තුළින්ම මතුවන තවත් චෛතසිකයන්. ඒක පදනම් වෙලා තියෙන්නේ තරුණ කාලයෙ අහිමිවුණු ආදරය දිහා බලා වැලපෙන කෙනෙක්. ඇත්තටම මේ වැලපීම ඇතුළෙ ගුලි වුණු චරිත ගොඩක් ඉන්නවා. එහෙම වෙන්න හේතුවෙලා තියෙන්නෙත් ඔන්න ඔය විග්‍රහ කරපු හයිබ්‍රිඩ් ආබාධිත සමාජ දේහය. ඒ සමාජ දේහය ඇතුළෙ සැබෑ ලිබරල්වාදීන් බිහිවෙන්නේ නෑනෙ. එතක ඉන්නේ භයානක බයියෙක් හැංගිලා ඉන්න ටොයියෙක් කියලා ප්‍රසිද්ධියේම කීවා කේ කේ සමන් කුමාර ත්. පොතේ තියෙන හැම කතාවක්ම ගැන ලියන්න මම උත්සාහ ගන්නෙ නෑ. රාමායනය කතාව ඇතුළෙත් ඉන්නෙ වික්ටෝරියානු සුචරිතවාදී බුද්ධාගම වැළඳ ගත් ශ්‍රි ලාංකේය උපාසිකාවක් බැඳගෙන ජීවිතය විඳවන පරාණයක්.
කෙටිකතා වලට ඇතුළත් විය යුතු සංදර්භීය ගුණය හැම කතාවකම තියෙනවා. මම හිතෙනවා මේ පොත සම්මාන වලට තේරීමට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති කියන එක.
දැං කතුවරයාගේ අභිලාෂය මොකක් උණත්, මම හිතන්නේ සාහිත්‍යය විචාරයක් හැටියට මේ පොතෙන් කියවා ගන්න තියෙන පණිවුඩය නම් මෙන්න මේ සංදර්භය අවබොධ කර ගන්න එක. අන්න ඒ සංදර්භයට ගැළපෙන චින්තන ක්‍රමය අපිම කොහොම හරි නිර්මාණය කර ගන්න උත්සාහ ගන්න ඕනෑ කියන කාරණාව. ඒක කරන්න නම් අපි අපෙන් පරිබාහිර නිර්මාණය වුණු දෘෂ්ටිවාද සහ සංකල්ප, න්‍යායන් සහ ආකෘති ඉගෙන ගන්න කලින් අපි අපිව හොයා ගන්න වෙනවා. ඒ වගේම අපි අපේ ඔලුවල පුරවාගෙන ඉන්න ‘විධිමත් ඉස්කෝල දැනුම් පද්ධතිමය’ සිතීමේ ක්‍රමය වෙනුවට එක ආපු ක්‍රමය අවබෝධ කරගන්න වෙනවා. අධ්‍යාපනය වෙනුවට ධ්‍යාපනය සාහිත්‍යය දරුවාගේ මෙහෙවරයි.
මේ පොතෙන් සන්නිවේදනය කරන පණිවුඩය එයයි.
මේ පොත ගැන මුල් පෝස්ට් එක



