කවුරුත් නොදකින, කවුරුත් ප්‍රශ්න නොකරන අත්තනෝමතික යැයි කිව හැකි ආධිපත්‍යයවාදී දෙයක් නිහඬවම සිද්ධ වෙලා. සාමාන්‍යකරණය වෙන බොහෝ දේවල් මෙන්ම භක්තිය සහ බලය ඉදිරියේ හෙමිහිට හීන් නූලෙන් සිදුවන දෙයක් ද මෙය? ජනතාව නිහඬ ඇයි? ජනතාව මේ තරම් අසරණයි ද?
බොහෝ ආගමික සිද්ධස්ථාන වල සිදුවන කොන්ක්‍රීට් ඉදිකිරීම් වලට බොහෝ දායකයින් කැමති නෑ. ඒවාට එක්කො නීත්‍යානුකූල අවසරත් නෑ නොඑසේ නම් ගන්නා අවසරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඒ වගේම ආගමික සංස්ථා වල ශබ්දයට බයේ බොහෝ රාජ්‍යය ආයතන කීකරු මීයන් සේ ගොලුබෙලි කටු තුළට වී සැගවී සිටිනවා.
මිහින්තලේ මිහිඳු සෑය වටකොට නව ඉදිකිරීමක් වුණේ එහෙමයි. ඒ ගෝටා ජනාධිපති කාලෙ කළ අත්තනොමතික තීරණයක්.
ශ්‍රීමහා බෝධියේ වැලිමළුව ලෝක උරුමයේ රැක ගැනීමේ පදනම. ශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව රජය භාරයේ පවතින අතර, වෘක්ෂයේ ආරක්ෂාව පේරාදෙණිය උද්භිද උද්‍යානය පුමුඛ කමිටුවක අධීක්ෂණය යටතේ පවතින එකක්. එමෙන්ම ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන පූජා භුමිය යුනෙස්කෝ ලෝක උරුම සිද්ධස්ථානයන් ය. යුනෙස්කෝ ලෝක උරුම වල නවීකරණයන් සහ නව ඉදිකිරීම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ය. අවසර දෙන්න ඉතාමත් සැලකිලිමත් ලෙස කළ යුතු නඩත්තු කටයුතු පමණි.
ලෝක උරුම සිද්ධස්ථානයක් යනු සමස්ත ලෝකයටම උරුම වූ දෙයක් වන අතර, එහි උරුමය කාල තරණය කරයි. අතීත උරුමය වර්ථමාන අපට පමණක් නොව අනාගත මනුෂ්‍ය වර්ගයාටම අයිති උරුමයන් ය. එම උරුමයන් අපට උරුම වූවා සේම අනාගත පරපුරට ද උරුමය. ඒවා අපේ අද ඕනෑකම් වලට අනුකූලව අපට උවමනා ලෙස විකෘති කිරීමට අවසර නොදෙන්නේ එහෙයිනි.
දඹුල්ල ලෙන් විහාරයේ කර ඇති නව සංවර්ධන කටයුතු නිසා දඹුල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවද කියවේ. ඒ ඉරණම ම අටමස්ථානයටත් හිමිවේ ද?
උතුරේ උරුමයන් ගැන තප්පුලන බොහෝ බෞද්ධ යැයි කියා ගන්නා ජාතිකවාදීන් නොදන්නා කරුණ වන්නේ අද වැඩිපුරම විනාශ කර, දූෂණය කර කාබාසිනියා කර ඇත්තේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන නොව දකුණ් බෞද්ධ සිද්ධස්ථාන බවයි. මෙය බෞද්ධ අබෞද්ධ අපි සියලු දෙනාම පිලිගන්නා යථාර්ථයයි.
එසේ තිබියදී ශ්‍රී මහා බෝධිය මැද මළුව සහ පහළ මලුවේ වැලි තලාව වසා දමා ඒ මත ටයිල් වලින් ආවරණය කිරීම කර කරනු ලබන විනාශය ගැන බලධාරීන් දැනුවත් ද?
මගේ මේ ප්‍රශ්නය යොමු කරන්නේ මා සේවය කළ, නාගරික සංවර්ධන අධිකාරියට සහ අනුරාධපුර මහ නගර සභාවටයි. මේ ආයතන දෙකම දන්නවා මම වසර පහක් තිස්සේ මගේ විශේෂ අවධානය යොමු කළේ පූජානගර සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය කීරීමට කියන කාරණය. එපමණක් නොව අනතුරුව අවුරුදු 12 ක්ම මම සේවය කළේ මහනුවර සහ සීගිරිය ඇතුළු ලෝක උරුම නගර වලට අනුබද්ධ රාජකාරි වල වගකීම් වල බව.
මේ සංවර්ධන කටයුත්ත සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහ පූජානගර කමිටු අවසරය ගතයුතු බව ඔබ මම තදින්ම ප්‍රකාශ කරන්නේ එම අත්දැකීම් සහිතවයි.
මෙම ටයිල් යොදා වැලිමළුව වැසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ අනුරාධපුර මහනගර සභාවෙන් අවසර පත්‍රයක් දී ඇති ද?
එසේ දී ඇත්නම් මේ සංවර්ධන කටයුත්ත සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා දී ඇත් ද?
මේ ටයිල් දැමීම නිසා ශ්‍රි මහා බෝධියට සහ පරිවාර බෝධීන්ට හානියක් නොවන බවට සහතිකයක් අදාල උද්භිද උද්‍යාන බලධාරීන් දී ඇත් ද?
මෙම ටයිල් නිසා වැසි අවස්ථාවල විශේෂයෙන් වයසක පුද්ගලයන් සහ දෘෂ්‍යාධාර සහ ඇවිදීමේ ආධාර සහිත පුද්ගලයන් පය ලිස්සා වැටීමේ අවදානමක් තිබෙනවා නේද? ඒවා ගැන වග කියන්නෙ කවුද? ඒ අවධානම සඳහා සහතිකයක් දී තිබේද?
මේ කිසිවක් නොමැතිව මේ සංවර්ධන කටයුත්ත කරන්නෙ නම් ඒ සඳහා බලය යොදා ඇත්තේ කවුද?
මේ ක්‍රියාවලිය පසුපස වෙනයම් මහා බලවේගයක් ක්‍රියාත්මක වෙනවා ද යන සැකය මතුවේ. මේ ටයිල් රාජයා කවුද? මේ අරමුදල් සපයන්නේ කවුද? ඒ හරහා ඇති වෙනත් අරමුණක් ඇත්ද?
රාජ්‍යය බලයක් ආණ්ඩුවේ බලයක් ඉක්මවා ක්‍රියාත්මක වන මහා බලයක් ලංකාවේ තියෙනවා කියන්නේ මේකද? මේ බලයේ බලවතා කවුද? මේ ගැන ජනතාව දැනුවත් වීම වගේම තොරතුරු සොයා බැලීම සඳහා මෙසේ ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමනා විජේරත්න.
Author of this article can be contacted at Sumana Wijeratna




