Yunus-cartoon-1

ජෙෆ්රි යූනුස්ටත් කලා ගෙයක් ලැබෙ​යි

සොත්ති උපාලිගේ ගේ ලඟින්ම.

ප්‍රකට කාටුන් ශිල්පී ජෙෆ්රි යූනුස්ට අත් වූ ඉරණම. මේ යුනුස් ය​නු ප්‍රේමදාසගේ නිත්‍ය විවේචකයෙකු වූ ‘ඇත්ත’ පුවත්පතේ ප්‍රධාන කාටුන් ශිල්පියා ය. යුනුස් ද ජීවිත කාලය පුරාම සිටියේ කුලී නිවෙස්වල ය. මේ1992 මැද භාගයයි. ඔහු පදිංචි ​වී සිටි කුලී නිවෙසේ හිමිකරුවෝ ඔහුට නිවසෙන් පිටවීමට තර්ජනය කරමින් සිටියහ. යූනුස්ගේ පසු කළෙක මේ ලේඛකයාට පැවසු ආකාරයට ප්‍රේමදාසගෙන් නිවසක් ඉල්ලන්නට ඔහුට ඔහු පෙලඹ වූයේ බිරිඳ ය. ඔහු දින ගණනාවක් මේ ගැන කල්පනා කලේය. ඔහු වෘත්තිය ජීවිතේ වැඩි කොටසක් ගෙවා තිබුණේ ‘ඇත්ත’ පත්තරේ ය. ඔහු ඇඳි කාටුන් සිය ගණනකම ප්‍රේමදාස උපහාසයට ලක් කර ඇත්තේ ය. එසේ තිබිය දී කෙසේ නම් රජයේ නිවසක් ප්‍රේමදාසගෙන් ඉල්ලන්නද? යුනුස් මුහුණ දුන් උභතෝකෝටිකයයි.

අවසානයේ යූනුස්, කුලීගේ හිමියාගේ තර්ජනය හා බිරිඳගේ ආයාචනය නිසා තමන් මුහුණ දී සිටින ඉරණම පැහැදිලි කරමින් ප්‍රේමදාසට ලිපියක් ලීවේය. එම ලිපිය දිනපතාම ‘සුචරිතයට’ ඇත්ත පුවත්පත මිලදී ගැනීමට බොරැල්ලේ කොටා පාරේ [ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත] පත්තර කන්තෝරුවට එන ප්‍රේමදාසගේ අතවැසියෙකු අතට දුන්නේ ය.

‘මේක ප්‍රේමදාස මහත්තය​ගේ අතටම දෙන්න’

දින කීපයකින් ජනාධිපති ආරක්ෂකයන් පිරිසක් ඇත්ත පත්තරේ කන්තෝරුවට ආවේය. ඔවුහු ජනාධිපති ප්‍රේමදාස යුනුස් හමුවිමට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වා එවේලේම ඔහු කැන්දාගෙන ගියහ. ප්‍රේමදාස ඔහු තමා සිටිනා තැනට යූනුස් කැදෙව්වේය. නිවාස අධිකාරියේ නිලධාරීන් පිරිවරා ගෙන වටමේසයක සිටි ප්‍රේමදාස නිලධාරීනට යූනුස් හදුන්වා දුන්නේ ය. තමා ගැන වැඩිම කාටූන් ප්‍රමාණයක් ඇඳ ඇත්තේ යුනුස් කියමින් බව කියමින් වර්ණනා කළේ ය. ‘ඇත්ත’ කන්තෝරුවට පයින් එන දුරකින් ඇති රජයේ නිවාස ගැන විමසූ ප්‍රේමදාස, එවෙලේම බොරැල්ලේ ගෝතමී පාරේ වැඩ අවසන් වෙමින් තිබූ තට්ටු නිවාස සංකීර්ණයකින් නිවසක් යූනුස්ට දීමට නියෝග කළේය. එහෙත් සොත්ති උපාලි හා මාළු නිහාල් යන පාතාල නායකයන් දෙදෙනාට ද ප්‍රේමදාස ගෙවල් ලබා තිබුණේ ද මේ තට්ටු නිවාසවලින් බව අහිංසක යූනුස් නොදැන සිටියේ ය.

සති ​​කීපයකින් යූනුස් සිය දරුපවුල සමඟ මේ නව නිවසේ ප​දිංචියට ගියේ ය. වෙනදා මෙන්ම ‘ඇත්ත’ට කාටුන් ඇන්දේය. වාසනාවකට නිවසේ පදිංචියට ගිය මුල කාලයේ ඔහුට ප්‍රේමදාස උපහාසයට ලක් කර කාටූනයක් අ​දින්නට අවස්ථාවක් නොලැබුණේ ය. එහෙත් මාස කීපයකට පසු එම අවස්ථාව උදාවිය. ඔහු එය ඇන්දේ කිසීම චකිතයකින් තොරවය. පසුදා ‘ඇත්තේ’ එය පළ කෙරුණත් වෙනදා දුරකථනයෙන් එන තර්ජනයක් වත් එදින නාවේය. යූනුස් එදා සැහැල්ලුවෙන් ගෙදර ගියේ ය. රාත්‍රියේ කඩුපිහි රැගත් මැර පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදුණේය.

“ගුණ මකුවා. උඹ පාරට වැටුනම හෙවනක් දීපු මිනිහටත් ගැහුව. අපේ ලොක්කගේ වැරැද්ද. මේ ගේ, අපේ පක්ෂයේ කෙනෙකුට නොදී උඹ වගේ එකෙකුට දීලයි ලොක්ක ඉල්ලන් කන්නේ. ඒත් අපෙන් උඹට ගැලවෙන්න බෑ.”

මැරයෝ යූනුස්ට පහර දී ඔහුගේ කට දෙපසින් ක​පා දැමූහ. කාටූන් අඳන දකුණු අතටත් පහරක් දී තුවාල කළහ. තවත් ටික කලෙකින් ඔහු කාටූන් ඇඳ්ම අත්හැර දැම්මේ ය. යූනුස් ජීවිතේ ඉතිරි කාලය ද පදිංචිව සිටියේ ප්‍රේමදාස දුන් නිවසේ ය. එසේම තමන්ගේ නිවසට කඩා වැදී පහර දී කට සහ අතට තුවාල කළ මැරයන් ප්‍රේමදාස නො එවූ බවත් ඔවුන් ස්වේච්චාවෙන් පැමිණි බවක් විශ්වාස කළේය. එහෙත් ප්‍රේමදාස කිසිම දවසක ජෙෆ්රි

යුනුස් නම් ප්‍රකට කාටුන් ශිල්පීයාට මේ විපත කළ මැරයන්ට දඬුවම් කරන්නට නියෝග කළේ වත් ඒ ගැන විමසීමක් කළේ වත් නැත.

මේ අතීතය කතා ලියමින් මා මතු කරන්නට උත්සාහ කරන්නේ, ‘ජනමාධ්‍යකරුවන් යනු පණිවිඩකාරයන් වර්ගයකි. තොරතුරු සොයා වාර්තාකිරීම ඔහුගේ වෘත්තිය හා ජීවන මාර්ගය වෙයි. ඔහුට ​බාදා කිරීම, තර්ජනයෙන් හා මර්ධනයෙන් ඔහු නිහඬ කිරීමේ පාඩුව සිදුවන්නේ පොදුවේ රටේ ජනයාට පමණක් නොවේ. ඔවුන් විසින් තෝරා පත් කළ දේශපාලකයන්ට ද බලපාන්නේ ය. ජනාධිපති ප්‍රේමදාස ජීවතුන් අතරේ සිටිද්දී ඔහුට ප්‍රශස්ති ලියනඅප්පුලාට හැර අන් කිසිවෙකුටත් ඔහුගේ පුද්ගලික දේපොලට පමණක් නොව ඔහු යටතේ තිබූ පොදු දේපොලටවත් ඇතුළුවීමට අවසර නොතිබුණේ ය. මේ නිසා වසර 04ක් තිස්සේහුගේ ඝාතකයන්ට කිසීම හෙලිවීමකි​න් තොර​ව, වාර්තා කිරීමක් නැතිව, ඔහු පසුපස ​හඹා යාමේ වාසනාව හිමි විය.

12/08/26

Substack-NandanaW