Metro-Lanka-1

ලංකාවේ ප්‍රවාහන භූ-දර්ශනය වෙනස් වීම සැබෑවක්ද ?

සමස්ත බස් කර්මාන්තයේම අවසාන මූල්‍ය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත්තේ මගියා හෝ බස් හිමියා නොව, මූල්‍ය සහ ලීසිං හෝ විදේශීය සමාගම්ය. බස් රියදුරා සහ කොන්දොස්තරවරයා යනු ද තවත් එක් ගොදුරක් පමණි.

(මහේෂ් හපුගොඩ විසින් FaceBook හි පලකල ‘මෙම’ ලිපියට ලියැවුණු ප්‍රතිචාරයකි)

Mahesh Hapugoda සහෝදරයා ගේ දෘෂ්ටි කෝණයට අනුව, කොළඹ අගනගරයේ විදුලි සංඥා වලින් නික්මෙන ආලෝක දාරා සිපගනිමින් මෑතකදී විවර වූයේ නව Metro බස් රථ සේවාවකි. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවෝදයක් සනිටුහන් කරමින් සමාජ මාධ්‍ය අවකාශය සිසාරා දෝංකාර දෙන මෙම ප්‍රවණතාවය , අප නගරයන් වෙත නැගෙනහිර ආසියානු සංස්කෘතින්හි ඇති නවීන සෞන්දර්යාත්මක මුහුණුවර සහ “පොහොසත්” පෙනුමක් දායාද කරනු ඇතැයි බොහෝ දෙනා උදම් අනති. ආණ්ඩුවේ වැරදි සහ අතපසු වීම් ආරක්ෂා කරන පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ඉහළින්ම ඔසවා තබමින් මහා ප්‍රචාරණ කැම්පේන් දියත් කරනු ලැබුවේ එබැවිනි.

එහෙත්, ආණ්ඩුවේ සහ එම ප්‍රචාරකයන්ගේ මෙම ව්‍යාජ “ආතල්” එක එකී මොහොතේදීම බිඳ වැටෙන්නේ එහි ඇති නිරුවත් ආර්ථික යථාර්ථය කරළියට පැමිණීමත් සමඟය. Lanka Metro Transit පුද්ගලික සමාගම මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ රජයේ ජාතික අයවැය ප්‍රතිපාදන සහ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේය.

මෙම ප්‍රවාහන ඛේදවාචකයේ සැබෑ බිම් මට්ටම දෙස බලන විට, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සහ මෙම නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය එකිනෙකා ගැටෙන මතවාදී සංවාදයක් සමාජය තුළ නිර්මාණය වී ඇත. දහවලේදී මගී ජනතාව පෞද්ගලික බස් රථවල දැඩි තරඟකාරීත්වයට සහ රළු ස්වභාවයට මැදි වන අතර, නිශාචර යාමයේදී ඔවුන්ගේ එකම සහ අවසාන ගැලවුම්කරුවා වන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) බස් රථයයි. මිලියන සංඛ්‍යාත පොදු ජනතාවගේ දෛනික ජීවිතය හා බද්ධ වූ මෙම ප්‍රවාහන ප්‍රශ්නයේ සැබෑ හරය පවතින්නේ මගියාගේ පහසුව, කාලය කළමනාකරණය සහ ඔවුන්ගේ ආත්මගෞරවය සුරක්ෂිත වීම මතය.

මෙම ව්‍යුහමය අර්බුදය හමුවේ ආණ්ඩුව සිය මුල් වටයේදීම සිදු කළේ ප්‍රබල බස් මාෆියාව, වර්ජන සහ කැරලි හමුවේ යම් මට්ටමක දේශපාලන එකඟතාවකට පැමිණීම බව පෙනෙන්නට තිබේ. පවතින ක්‍රමය මුලිනුපුටා දැමීමට උත්සාහ නොකර, එය එලෙසම පවත්වාගෙන යාම රාජ්‍ය පාලන උපක්‍රමයක් ලෙස තත්කාලීනව සාර්ථක වුවද, අද වන විට ආණ්ඩුවට වසර දෙකක් සපිරී ඇත. සාමාන්‍යයෙන් වසර පහක පාලන කාලයකින් වසර දෙකක් යනු සමස්ත ධුර කාලයෙන් 40%ක ප්‍රතිශතයකි. මෙම කාලය අවසානයේදී ද මෙරට පොදු ප්‍රවාහනය තුළ කිසිදු තෘප්තිමත්දායක වෙනසක් සිදුවී නොමැති අතර, ජනතාව තවමත් මුහුණ දෙන්නේ එදා පැවති අසීරු, අවදානම් සහගත සහ වෙහෙසකර බස් සංස්කෘතියටමය. මහ මඟ සහ පොදු බස් රථ තුළදී අද වන විට මගී ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝනය වෙමින් පවතී.

මෙම අර්බුදයේ ස්ථරයන් එකින් එක ගලවා විග්‍රහ කර බැලීමේදී පැහැදිලි වන්නේ, සමස්ත බස් කර්මාන්තයේම අවසාන මූල්‍ය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත්තේ මගියා හෝ බස් හිමියා නොව, මූල්‍ය සහ ලීසිං හෝ ඉන්දියානු සමාගම් බවයි. කර්මාන්තයේ නියුතු බස් රියදුරා සහ කොන්දොස්තරවරයා යනු ද මෙම ක්‍රමය විසින්ම මෙහෙයවනු ලබන, එහි රළු සහ ගොරෝසු වෘත්තීය ස්වභාවය නිසාම පීඩාවට පත් වූ තවත් එක් ගොදුරක් පමණි. අනෙක් අතින්, පෞද්ගලික බස් හිමිකරුවා ද මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත්තේ තනිකරම ලාභය මුදල් කරගැනීමේ පරමාර්ථයෙන් වන අතර, ඉන් එහා ගිය සමාජීය වගකීමක් ඔවුන් වෙත ලැබී නොමැත. රාජ්‍යයක් ලෙස පවතින ව්‍යුහය වෙනස් කරමින්, ප්‍රවාහනය යනු ලාභය ලබන ව්‍යාපාරයක් නොව මහජන සේවාවක් ලෙස හඳුනාගෙන, ඒ සඳහා සහනාධාර ලබා දෙමින් ක්‍රමවේදය සංවර්ධනය කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇත.

අපේ රටේ පවතින ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවක් ඇත. එනම්, රුපියල් 1500ක් දී මිලදී ගත් චීස් කොත්තුවකින් අහම්බෙන් හෝ චීස් කෑල්ලක් හැපෙන විට, අප “තෑන්ක් යූ” කීමට තරම් අසරණ වී ඇති බවයි. මෙමඟින් පැහැදිලි වන්නේ අප අතිශය අවම සහ ගුණාත්මකභාවයෙන් තොර පහසුකම් ප්‍රමාණයක් ලැබෙන විට පවා, එය මහා භාග්‍යයක් කොට සලකන, අඩු ලන්සුවක ජීවත් වන ප්‍රජාවක් බවට පත්ව ඇති බවයි. එහෙත්, නූතන මිනිසාට උරුම විය යුත්තේ මීට වඩා උසස්, පහසු මෙන්ම ආත්මගෞරවයෙන් පිරි ජීවන පිළිවෙතකි.

අද වන විටත් රාත්‍රී කාලයේදී ගමන් බිමන් යාමට පෞද්ගලික බස් රථ සේවාවක් ක්‍රියාත්මක නොවන තරම්ය. මෙම ප්‍රවාහන අර්බුදය නිසාම මෙරට ජනතාවගේ සංස්කෘතික ජීවිතය ද සවස 6න් පසුව නිවෙස්වලට වී රූපවාහිනී ටෙලිනාට්‍යවලට පමණක් සීමා වීමට සිදුව ඇත. වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක්, විනෝද සංචාරයක් හෝ සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන ජනතාවට රාත්‍රී කාලයේදී යළි නිවෙස් බලා යාමට කිසිදු ප්‍රායෝගික ප්‍රවාහන විසඳුමක් මෙතෙක් සකසා නැත.

පවතින සැබෑ තත්ත්වය මෙලෙස ඛේදනීය වෙද්දී, නව මෙට්‍රෝ බස් රථ කිහිපයක් දමා සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑවට වඩා උදම් ඇනීමේ කිසිදු තේරුමක් නැත. කොට්ටාව – ගල්කිස්ස වැනි සාමාන්‍ය බස් රථවල රාත්‍රී කාලයේදී හුස්ම ගැනීමට පවා නොහැකි තරම් තෙරපෙමින්, පීඩා විඳිමින් යන මගියෙකුට, බත්තරමුල්ලෙ සිට පිටකොටුව දක්වා නවීන මෙට්‍රෝ බස් රථ අටක් ධාවනය වීම කෙතරම් දුරට බලපාන්නේද යන්න අතිශය සැක සහිතය. මෙතැන ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ උගුලකි. අඩුම තරමින් තමන්ගේම කියා පාපැදියක් හෝ මෝටර් රථයක් මිලදී ගැනීමට වත්කමක් නැති පොදු මගියා සමාජය විසින් සලකනු ලබන්නේ කිසිදු හඬක් නැති, “කුණු බක්කියක්” වැනි අසරණ දුර්වලයෙකු ලෙසය.

සාම්ප්‍රදායික බස් මාෆියාවට එරෙහිව හුදෙක් වස්කවි කීමෙන් හෝ සාප කිරීමෙන් පමණක් මෙයට විසඳුම් සෙවිය නොහැක්කේ, බස් මාෆියාව යනු ද දශක ගණනාවක් තිස්සේ පද්ධතිය තුළ මුල් බැසගත් ව්‍යුහමය දෝෂයක ප්‍රතිඵලයක් වන බැවිනි. මෙම දැවැන්ත ව්‍යුහමය වෙනස සිදු කිරීම සඳහා විෂය භාර ඇමතිවරුන්ට පැහැදිලි දැක්මක් තිබිය යුතු අතර, සමාජයක් ලෙස අප ද ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුය. අද වන විටත් බස් මගියෙකු තමන්ට වන අසාධාරණයකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත්, එය විභාග වී සාධාරණයක් ඉටු වේද යන්න ගැටලුසහගතය. අවසානයේදී සිදුව ඇත්තේ, ජනතාව ද කිසිදු පැමිණිල්ලක් නොකර, තමන්ට උරුම වූ පීඩිත ඉරණම දෛවයට බාර දී, “අපේ හැටියට මෙහෙම ජීවත් වෙලා මැරුණත් ඇති” යන අතිශය කලකිරුණු මානසිකත්වයකින් යුතුව දිනපතා මහා මාර්ගයේ දුක් විඳීමයි.

එබැවින්, පොදු ප්‍රවාහනයේ පවතින මෙම බිහිසුණු ඛේදවාචකය දිගින් දිගටම මෙලෙසම පවතින්නේ නම්, “අප බලාපොරොත්තු වූ සැබෑ වෙනස මෙයද?” යන සාධාරණ ප්‍රශ්නය සමාජය හමුවේ ඉතිරි වේ. මෙරට දේශපාලන ක්‍රමවේදයේ සහ ව්‍යුහයන්හි දැවැන්ත වෙනසක් සිදු කිරීමට පැමිණි ආණ්ඩුවක්, අවසානයේදී “කන්දක් විලිලා මීයෙක් වැදුවා” වැනි ඉතා සුළු සහ මතුපිටින් පෙනෙන මෙට්‍රෝ බස් ව්‍යාපෘතිවලට පමණක් සීමා වීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මෙය ආණ්ඩුවේ දේශපාලන කීර්තිනාමයට මෙන්ම, මෙරට ජනතාව තුළ මෑතකදී ඇති වූ නැවුම්, බලාපොරොත්තු සහගත සහ අවදි වූ සමාජ පරිමාවට ද කරනු ලබන බලවත් අසාධාරණයකි. පරණ, කුණු වී ගිය දේශපාලන සහ ආර්ථික ව්‍යුහයන් බිඳ වැටීම අපට යම් ආශ්වාදයක් හෝ ජයග්‍රහණයක් ලෙස සැමරීමට හැකි වුවද, පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි “එදාවේල බේරාගත්තා” හෝ “යන්තම් පණ කෙන්ද ගැටහගත්තා” වැනි මට්ටමකින් සෑහීමකට පත්වීම කිසිසේත්ම සෞඛ්‍ය සම්න්න නැත.

එබැවින්, සමාජ මාධ්‍ය අවකාශය තුළ ලියන, කියන සහ අදහස් දක්වන සමස්ත ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ ආණ්ඩුවේ මතුපිටින් පෙනෙන ප්‍රචාරණ උගුල්වලට හසු නොවී, මෙන්න මේ කියන සැබෑ බිම් මට්ටමේ ප්‍රශ්න දෙසට සිය අවධානය යොමු කරන ලෙසයි. මගියාගේ ආත්මගෞරවය සුරක්ෂිත වන, මූලික මිනිස් අයිතිවාසිකම් රැකෙන සෞඛ්‍ය සම්න්න ප්‍රවාහන සේවාවක් රට තුළ බිහි කරගැනීම උදෙසා දිගින් දිගටම ලියන්න, කියන්න, කල්පනා කරන්න මෙන්ම බලධාරීන්ට බලපෑම් කරන්නැයි අප බලකර සිටිය යුතුය.ඒ වගේම තව දුරටත් 76 වසරක සාපය ගැන වේවා නිර්ප්‍රබු අලංකාරික කතා වලින් කුල් මත් නොවී සාමාන්‍ය ජනතාවගේ දවසේ ජීවිතය වඩාත් ප්‍රගතිශීලි මට්ටමකට ඔසවා තැබිමේ වැඩපිලිවෙල අත් නොහැරිය යුතුය .

FaceBook හි මුල් ලිපිය මෙතනින් කියවිය හැකිය.

Mandis Murrukkuwadura