2026 මීගමුව හා 1983 වැලිකඩ හිරගෙවල් තුල දී සිදු වූ සාහසික මිනිස් ඝාතනවලට එලියක් ලබා දෙන්නට මේ බන්ධනාගාර නිලධාරියාගේ සාක්කිය ප්‍රයෝජනවත් වෙතැයි මට සිතේ.

1983 කළු ජූලියේ 25 වෙනිදා වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙමළ දේශපාලන සිරකරුවන් 35 දෙනෙකු අපරාධකරුවන් ලවා ඝාතන කළේ කෙසේ ද? මේ වෙනුවෙන් මා රැස් කළ සියළුම සාක්කි [බන්ධනාගාර නිලධාරීන්ගේ] වීඩීයෝ සාකච්චා හැටියට ආරක්ෂා කෙරේ.
අපි ආනන්ද හමුවීමට ගියේ 1983 ජූලි මාසෛඒ වැලිකඩ බන්ධනාගාරයේ දී දෙමළ දේශපාලන සිරකරුවන් මරා දමා වසර 42 ගෙවෙද්දීය. අවුරුදු 18ක් පිරෙද්දී බන්ධනාගාර සේවයට එකතු වූ සායක්කාර වසර 35 සේවයෙන් පසු දැන් විශ්‍රාමික ය. 72 හැවිරිදිය.
දින වකවානුවල ගැන ඇති මතකය ඉඳ හිට වෙනස් වූවත් ඔහුගේ සිදුවීම් පිළිබඳ මතකය ඉතා පැහැදිලි එකකි. මම ඔහු සමඟ වීඩියෝ සාකච්චාවක් කරන්නට යන බවත් එය පොතක් හා වාර්තා චිත්‍රපටයක් බවට පත්වෙන බවත් කල් තියාම කීවෙමි. ඔහුට ඒ කිසිවක් ගැන ප්‍රශ්න නොතිබුණි. ආනන්දට අවශ්‍ය වූයේ ඔහු දුටු දේ අවංකවම අනාගතයට වාර්තා කර තැබීමටය. එසේම මේ මිනිස් ඝාතන සිදු වෙද්දී බන්ධනාගාර නිලධාරියෙකු හැටියට අක්‍රියව සිටීම ගැන ඔහු කම්පා විය. ඒ කාලයේ සෑම තැනකම පැතිරුණු “ජාති ආලය” ඒ අක්‍රීයත්වයට හේතු වන්නට ඇතැයි දැන් ඔහු විශ්වාස කරන්නේය. පළමු දවසේ ඝාතනය වූ සිරකරුවන්ගේ මළ සිරුරුවල ගත් පිංතුර ලෝකය පුරා පැතිරීම නිසා රටේ කීර්තියට විශාල හානියක් සිදු වූ බව ඔහු විශ්වාස කරන්නේය. එසේම ඊළාම් සටන ඒ සා විශාල යුද්ධයක් බවට පත් වීමට වැලිකඩ හිරගෙදර ඝාතන ඉවල් වූ බවත් ඔහු දැන් කල්පනා කරන්නේය.
සායක්කාර, එකල වැලිකඩ හිරගෙදර සිටි සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් ‘කොටි සැකකරුවන්’ ලෙස හැදින්වයි. එහෙත් මේ සිරකරුවෝ ඊළාම් අරගලයේ සිටි විවිධ පක්ෂ හා සටන්කාමී කණ්ඩායම්වලට අයත් වූවෝ වෙති. ඔහු එසේ කියද්දී මම ඔහුට බාදා නොකළෙමි.
‘දෙමළ සිරකරුවන් බාරව හිටියේ ප්‍රධාන ජේලර් රොජර් ජයසේකර. එයාගේ ගම කැලණියේ ගෝනවල. එයා ඒ පැත්තේ බොහොම ප්‍රභූ පවුලක කෙනෙක්. මම ගෙදරත් ගිහින් තියෙනව. එයාගේ තාත්තට ‘රාළහාමි’ කියල බොහොම ගෞරවයෙන් ගම්මු කතා කළේ. එගොල්ලො පරම්පරා යූ.ඒන්. පී. [එජාප – එක්සත් ජාතික පක්ෂය] කාරයෝ. රොජර් ජයසේකරට ගෝනවල සුනිල් [ප්‍රකට අපරාධකරු], රනිල් [ වික්‍රමසිංහ – හිටපු ජනාධිපති] වීරතුංග [ මේජර් ජෙනරාල් තිස්ස – හිටපු හමුදාපති] එක්ක ලඟ සම්බන්ධකම් තිබුණ.
මම ඒ කාලේ හිටියේ වැලිකඩ බන්ධනාගාර ක්වාටස් [නිල නිවාස] වල. ජූලි 25 වෙනිද උදේ මම වෙනද වගේම වැඩට ආවා. ඒ වෙන කොටත් එළියේ කලබල තිබුණ. දවාලේ රොජර් අපිට කිව්ව යුනිෆෝර්ම් [නිල ඇදුම්] ගලවල සරොන් ඇඳ ගෙන වරෙල්ල වැඩකට යන්න තියෙනව කියල. අපිට දර අංශයෙන් අලවංගු ගන්න කිව්ව. ඊට පස්සේ අපි එයා කියපු විදිහට ලෑස්තිවෙල ආවා. එයා බන්ධනාගාර රියක් ගෙනැල්ල නගින්න කිව්ව. අපි නැග්ග. වාහනය කෙලින්ම ගිහිල්ල නැවැත්තුවේ පුංචි බොරැල්ලේ හන්දියේම තිබුණු ‘රෝයල් වයින් ස්ටෝර්ස්’ එක ඉස්සරහ. ඒක අයිති දෙමළ අයෙක්ට. අපි වයින් ස්ටෝර්ස් එකේ දොරවල් කඩල අපිට ඇති තරමට බෝතල් ගත්ත. ඒවත් අරගෙන එද්දී හිරගෙදර ගේට්ටුව ලඟ දී වනාතේ කොල්ලෝ ලොකු කසිප්පු බූලි දෙකකුත් දුන්න.
සමහර විට රෝජර් ජයසේකර කලින් ඒව ගේන්න කියල තියෙන්න ඇති. අපි මේවත් අර ගෙන රොජර්ගේ ප්‍රධාන ජේලර් නිල කාඹරය ගියා. අපි එතනට යන කොටත් හිරකාරයෝ 40 විතර රෝජර්ගේ කාඹරය ලඟ හිටිය. අපි කසිප්පු බූලි දෙක හිරකාරයන්ට දුන්න. වයින් ස්ටෝර්ස් එක කඩල ගෙනාපු අරක්කු අපි බිව්ව. ඊට පස්සෙ අපි ලොන්ඩරි පාර්ටිය තියෙන පත්තට ගියා. එතන දී හිරකාරයෝ එතන තිබුණු ‘කම්බිලි’ [ හිරගෙදර රෙදි] වලින් අපි ගැට ගැහුව. අපි අතේ තිබුණු හිර කූඩුවල යතුරු ගත්ත.
ඒව ඕක්කෝම රොජර් ජයසේකර කල්වේලා ඇතිව හිරකාරයන්ට දීපු උපදෙස් අනුවයි කෙරුණේ. අපේ අත් කම්බිලිවලින් ගැට ගැහුව. ඇසුත් බැන්දා. හිරකාරයෝ “වැඩේට” ගියාට පස්සේ පැය භාගයකින් විතර අපි ඒ ගැට ගහපුව අපිම ලිහා ගත්ත. “වැඩේට” යන්න ඔවුන් කුස්සි පාර්ටියෙන් [කෑම උයන අංශය] මන්න පිහි ගත්ත, දර අංශයෙන් යකඩ ඉනි, පොරෝ ගත්ත. හිරකාරයෝ ඔක්කෝම එදා 1000 – 1200 මේ වැඩේට මෙහෙයුවේ ‘තංගල්ලේ ගුණපාල’ ගුණපාල මිනීමරුමකට මරණීය දන්ඬනය නියම වෙල පස්සේ ඒක ජීවිතාන්තය දක්වා වෙනස් වෙච්චි කෙනෙක්.

ඇත්තටම “වැඩේ” පටන් ගත්තේ අර කසිප්පු බීපු 40 විතර කණ්ඩායමෙන්. ඒත් “වැඩේ” යද්දී වැඩ අංශයේ හිරකාරයො වැඩ ඉවර කරල එන වෙලාව. ඔවුන් වෙන්නේ මොකක් ද දන්නේ නැතුවයි මුල් කණ්ඩායමට එකතු වුණේ. පස්සේ ඔක්කොම එකතුවෙල “වැඩේට” බැස්ස.
‘කුට්ටමනී’ පවා මරන්න එපා කියල වැන්ද. කොටි හිරකාරයෝ අතරින් එක්කෙනයි මරන්න එපා කියල වදින්නේ නැතුව මරණ තෙක් ගහ ගත්තේ. ඒ ජේගන්. ජේගන් පොරෝවලින් ගහද්දී ඒව එහාට මෙහාට වීසි වෙන්න ගැහුව. එක පාරට හතර දෙනෙක් එක්ක ගහ ගත්ත. අන්තිමට එක හිරකාරයෙක් උඩක ඉඳල කර උඩට පැන්නම ජේගන් වැටුන. ඊට පස්සේ යකඩ ඉන්නකින් ජේගන්ගේ පපුව මැද්දට ඇන්න. එක පාරම ලේ පාරක් උඩට විද්ද.
වයස අවුරුදු 16 විතර කොල්ලෙක් හිටිය දෙමළ හිරකාරයෝ අතරේ. හැමෝම කිව්ව එයා මරන්න එපා කියල. එයා තමයි කෙන්ට් ෆාම්වල හිටපු සිංහරාසා පියතුමාගේ පණිවිඩ හා කොටින්ගේ පණිවිඩ දෙපැත්තට ගෙනිහින් තිබුණේ. හැමෝම මරන්න එපා කීවට පස්සේ සාක්කිකාරයෙක් ඉතුරු කරන්න හොඳ නෑ කියල එයත් මරල දැම්ම.
මරණ, මරණ, දෙමළ හිරකාරයගේ බොඩිය [සිරුර] හිරගෙදර ඇතුල් වෙන කොටම තියෙන පොඩි පීට්ටනිය වගේ තැනට ගෙනැත් දැම්ම. සමහර බොඩිවල ඇස් ගලවල තිබුණේ. ජේගන් හා කුට්ටමනී වගේ අයගේ පුරුෂ ලිංග කපල කටේ ඔබල තිබුණේ.
මරණ පරීක්ෂනය තියද්දී ජේ. ඇම්.ඕ. [අධිකරණ වෛද්‍ය නිලධාරී] සරවනබවන් පිංතුර ගන්න ඕන කීව්ව. රොජර් ජයසේකර, අවසර දෙන්න බෑ කිව්ව. ඊට පස්සේ වැඩබලන බන්ධනාගාර අධිකාරි ජෑන්ස් [සී.ටී.] ගෙන්නුව. එයා අවසර දුන්න. ඊට පස්සේ මළමිනීවල පිංතුර ගත්ත. ඒ මිනීවල හැටි පිංතූරවලින් පේන්න ඇති. ඒව තමයි ලෝකේ පුරාම ගියේ. එවැයින් තමයි අපේ නම නරක් වුණේ. මහ යුද්ධයක් ඇති වුණේ.
වනාතේ කොල්ලො හිරගෙදර ඉස්සරට ඇවිත් මළමිනී ගෙනියන්න දෙන්න බෑ කීව. ඒව හිරගෙදර ඉස්සරහම පුච්චන්න කීව. ඒ වුනාට ඒ වැඩේ කෙරුණේ නෑ. ඔක්කොම මළමිනී ට්‍රක් එකකට දාගෙන ගිහින් කොලොන්නාවේ කනත්තේ වැලලුව.
රෝජර් ජයසේකර මේ ඔකෝම කළේ එයාගේ කැමත්තට නෙවෙයි ඉහලින් ආපු ඕඩර්ස් [නියෝග] වලට. එයා ලඟින් දැනගෙන හිටිය වීරතුංග [ මේජර් ජෙනරාල් තිස්ස- එවකට හමුදාපති.] ගම කැලණිය නිසා ජේ.ආර්. දැන ගෙන ඉන්න ඇති [ ජයවර්ධන – එවකට ජනාධිපති]
[කළු ජූලියේ දින 07ක් කෘතියෙනි.]
නන්දන වීරරත්න
12/07/26








