දහයියාගල, බෝගහපට්ටිය සහ උඩවලව – පරිසර ඇමති කොතනද?

දහයියාගල සහ බෝගහපට්ටිය වනාන්තර උඩවලව වනෝද්‍යානයටම එකතුකරන්න- සොබා පදනම ( Nature Foundation )

දහයියාගල අභයභුමියට ඇතුල්වෙලා ඉඩම් අල්ලන්න ගියොත් අත්අඩංගුවට ඇරන් අධිකරණයට ඉදිරිපත්කරනවා. ඒ සදහා අවසරය අධිකරනයෙන් අපි ඇරන් තියෙන්නේ – වනජිවි අඩවි නිළධාරි – කල්තොට අඩවිය

දහයියාගල කැලේ අක්කර 15000කට වඩා හිමිකම තියෙන්නේ අපේ විහාරස්ථානයටයි- පුජ්‍ය කරගස්තලාවේ ධම්ම දස්සි හිමි

ශ්‍රී ලංකාවෙි හදුනාගෙන ඇති, ප්‍රධාන අලි මංකඩ ( Elephant Corridors) 16 අතරින්,උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය යෝජිත රක්ෂිත වනාන්තරය දක්වා වන අලීන් ගමන්ගන්නා දහයියාගල අලි මංකඩට හිමි වන්නේ ප්‍රධාන තැනකි.

ලුණුගම්වෙහෙර, කුමන,ලාහුගල, මෙන්ම රුහුණු ජාතික වනෝද්‍යානවලත්, වන්දම දෙමලිය අවශේෂ කැලෑවලත්, ජිවත්වන වන අලියන් සිය ගනනින්, වැටහිරකන්ද රක්ෂිතය හරහා සහ වෙනත් වනඅලි ප්‍රවේශමාර්ග ඔස්සේ උඩවලව වනෝද්‍යානයට පැමිණ, අනතුරුව බෝගහපට්ටිය යෝජිත රක්ෂිත වනාන්තරය දක්වා අලියන් ගමන් ගන්නේ දහයියාගල අභය භූමිය හරයා වැටී ඇති මෙම අලි මංකඩ ඔස්සේය.

“ අපේ නිරීක්ෂණයන්ට අනුව වන අලියන් 600-800ක් පමණ, වසරකට මෙි අලි මංකඩ පාවිච්චි කරනවා. දහයියාගල හරහා බෝගහපට්ටිය දක්වා වැටිලා තියෙන්නේ වන අලියන්ගේ ප්‍රධාන සංක්‍රමණික මාර්ගයක්. නමුත් මේ අලිමංකඩ වසර ගනනාවක ඉදලා, විවිධ පුද්ගලයින් අත්පත්කර ගැනීම නිසා මෙි අලිමංකඩ දවසින් දවස අඩුවෙනවා. ඒ අතර මෙි අලි කොරිඩෝවේ ඉඩම් විවිධ දේශපාලනඥයින්, නිළධාරින් විසින් මිනිසුන් අතර බෙදා දෙන්න උත්සහ කිරිම සහ පෙළඹවිම නිසා, දහයියාගල අලි කොරිඩෝවේ පැවැත්මට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. මෙි හේතුවෙන් හල්දුම්මුල්ල, හපුතලේ, බලංගොඩ, තණමල්විල, වැල්ලවාය, වගේ විශාල ප්‍රදේශයක, ගම්මාන විශාල ප්‍රමාණයක, අලි- මිනිස් ගැටුම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. එහෙම තත්වයක් තියෙද්දී දැන්, බලංගොඩ ප්‍රදේශයේ, විහාරස්ථානයක, හිමිනමකුත් මෙි අභයභුමියට අයිතිවාසිකම් කියමින්, මෙහි ඉඩම් අත්පත්කරගන්න උත්සහ ගන්නවා.එවැනි තත්වයක් යටතේ අපේ රටෙි අලි- මිනිස් ගැටුමට තිරසාර විසදුමක් හොයන එක පහසු සරල දෙයක් නෙමෙයි’’

උඩවලව වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ සමීර වීරතුංග මහතා පවසයි.

උඩවලව වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය යෝජිත රක්ෂිත වනාන්තර දක්වා දිවෙන, දහයියාගල වනඅලි කොරිඩෝව, අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ,2002 වසරේ ජුනි මස 07 දින, අංක 1239/28 දරන, ගැසට් නිවෙිදනයෙනි. එම ගැසට්පත්‍රයට අනුව, මෙම අභය භුම්යේ විශාලත්වය හෙක්ටයාර 2685කි.එවකටදී දහයියාගල අභයභුමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ, වනාන්තර ඛන්ඩනය වලකා, වනඅලි කොරිඩෝවක් ලෙස, මෙය ආරක්ෂාකර ගැනීමෙි අවශ්‍යතාව හේතුවෙනි.නමුත් වර්ථමානයේදී අභය භුමිය සදහා එදා ගැසට්කල ඉඩම්වලින් අඩක් පමනම මෙිවනවිට විවිධ පිරිස් අත්පත්කරගෙන ඇති බව පරිසර සංවිධානවල පිරිස් චෝදනාකරති.

උඩවලව හා බෝගහපට්ටිය වනාන්තර යා කරන,මෙම අලිමංකඩ සහිත කැලෑ තීරුව, අභයභුමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට ප්‍රථම සිටම ඊට තර්ජන පැවතුණි. කලක්, මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු, මෙම අලි කොරිඩෝව සම්පුර්ණයෙන් වසා දමමින්,උඩවලව ජාතික වනෝද්‍යානයට නැගෙනහිර දෙසට වන්නට පිහිටි පොකුණුතැන්න ප්‍රදේශයේ සිට කවුඩලිආර දක්වා පිහිටි,කිලෝමීටර් 06ක් පමන දිගින් යුතු ජිප් රථ මාර්ගය දිගේ විදුලි වැටක් ඉදිකිරීමට උත්සහ කලේ, සම්පුර්ණයෙන්ම අලි මංකඩ අහුරා දමමිනි.

“මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු මේ නියෝජ්‍ය ඇමතිවරයා, ඌව පළාත් සභාවේ මංත්‍රීවරයෙක් සහ එවකට තණමල්විල ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුලු රජයේ නිළදාරින් පිරිසක් එකතුව ඉදිකරන්න උත්සහකල, මෙි අනීතික විදුලිවැට ඉදිකරන්න එදා අනුමැතිය දුන්නේ,එවකට පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කල පාඨලී චම්පික රණවක මහත්මයයි.ඒ අනුමැතියට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ හිටිය මෙි නියෝජ්‍ය ඇමතිවරයට අවශ්‍ය වුනා දහයිලාගල අලි කොරිඩෝව සම්පුර්ණයෙන්ම වහලා, ඒ ඉඩම් නෙටුල, මහ නෙටුල,මහ පැලැස්ස,කන්ඩියපිට,කොටවෙහෙර මංකඩ,අලුත් වැව,පොකුනුතැන්න, වගේ ගම්වල තමන්ගේ පාක්ෂිකයින් අතරේ බෙදලා දෙන්න.නමුත්, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතැම් නිළදාරින් සහ පරිසර සංවිධාන මේ විනාශකාරී මෙි වැඩෙිට විරුද්ධ වෙච්ච නිසා,නියෝජ්‍ය ඇමතිවරයට එදා ඒ වැඩෙි කරගන්න බැරිවුනා.නමුත් ඉන් පස්සේ ජනාධිපති ගෝඨාභයගේ ආන්ඩු කාලේ ඔහු නැවත වරක්, ජනාධිපතිවරයාගේ ගම සමග පිලිසඳරක් වැඩසටහන මෙි ප්‍රදේශයේ පවත්වමින්,ජනාධිපතිවරයා හරහා මේ ඉඩම් නිදහස් කරගෙන තමන්ගේ පාක්ෂිකයන් අතර බෙදලා දෙන්න උත්සහ කලා.ජනාධිපතිවරයා එහිදි මෙි මිනිසුන්ගේ සහ දේශපාලනඥයන්ගේ කීමට රැවටිලා, මේ කැලෑ ඉඩම් ගොවියන්ට බෙදා දෙන්න කටයුතු කරන්න කියලා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නා. මෙහිදි වනජිවි නිළදාරින් ජනාධිපතිවරයට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකරන්න උත්සහ කලාම. ජනාධිපතිවරයා නිළදාරින්ට කිවිවෙි, මම කියන දේ කරන්න චක්‍රලේඛන අවශ්‍ය නැහැ, මගේ කටින් පිටවෙන හැම උපදෙසක්ම චක්‍රලේඛනයකට සමානයි කියලා. ඉතිං ඒ තිරණයෙන් පස්සේ, අලි මංකඩේ ඉඩම් වලට ඇහැගහගෙන හිටිය මිනිස්සු සියගනනක් පහුවදාම මෙි කැලෑ ඉඩම් අල්ලන්න ගත්තා.නමුත් ඉන් පස්සේ ජනාධිපතිවරයා නැවතවරක් කැලෑවලට මිනිසුන්ට ඇතුල්විම තහනම් කලේ, තමන් ඒ මොහොතේ, කරපු වැරැද්ද නිවරදි කරමිනුයි. ඒත් වරින් වර, අවට ගම්මානවල මිනිස්සු මෙි අභයභුමියේ ඉඩම් අල්ලගන්න ගන්න උත්සහය අතහැරියේ නැහැ.තවත් අවස්ථාවක එවකට වනජිවි ඇමතිවරයා වු මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී විජිතමුනි සොයිසා ඇමතිවරයා හරහත්, මෙි කැලැ ඉඩම් බෙදාගන්න උත්සහකලා. නමුත් එවරත් එය අසාර්තක වුනේ, ඒ අවස්ථාවෙත් පරිසර සංවිධාන සහ විශේෂයෙන් උඩවලව සංචාරක කටයුතුවල නිරත පිරිස් විරුද්ධ වෙච්ච නිසයි. ඒ නිසා දැන්වත් මෙි ගැටලුව සදහා තිරසාර විසදුමක් දෙන්න අලුත් ආන්ඩුව හෝ කටයුතු කලයුතුයි.

උඩවලව වනඅලි කළමනාකරන මධ්‍යස්ථානයේ වනඅලි පර්යේෂක සමීර වීරතුංග මහතා තවදුරටත් පවසන්නේය.

දහයියාගල කැලේ වැදගත් ඇයි ?

මීට පෙර සදහන් කල පරිදි, දහයියාගල අභය භුමිය ඇතුලත් වනය, ලංකාවෙි ඇති ප්‍රධාන අලි මංකඩවල් 16න් එකකි. කුමන, ලුනුගම්වෙහෙර, උඩලව යන ජාතික වනෝද්‍යානවල පමනක්, නොව, වැල්ලවායේ වන්දම දෙමලිය ප්‍රදේශයන්හි අවශේෂ කැලැ තුල සිටින වන අලියන් පවා, බෝගහපට්ටිය,බෝගහ පැලැස්ස,රජවක, සමනල වැව, වනාන්තර දක්වාත් යන්නේ මෙම අලිමංකඩ හරහාය. සත්වවෙිදීන් පවසන්නේ වසරකට වනඅලි 600-800ක් පමන ප්‍රමාණයක් මෙම අලිමංකඩ භාවිතයට ගන්නා බවයි.

“ කරමැටි කියන ඛණිජය වන අලියන්ගේ, ප්‍රජනක හා ජෛවීය ක්‍රියාවන්ට ඉතා වැදගත්වන ඛණිජයක්. මෙි ඛණිජ නිධි ලංකාවෙි තියෙන්නේ වනාන්තර කිහිපයක විතරයි. ඒ අතරින් බෝගහපට්ටිය වනාන්තරයේ තියෙන ඛණිජ නිධිය හරි වැදගත්,අදාල කාලවලදි, මෙි ඛණිජ අවශ්‍යතාව සපුරගන්න වනඅලි විශාල ප්‍රමාණයක් දහයියාගල කැලෑ කොටස හරහා බෝගහපට්ටිය දක්වා එනවා. ඒක කරන්නේ අනාධිමත් කාලයක ඉදලයි. අනික ඒ ගමනෙදි කාලයක් රැදී ඉන්න අවශ්‍ය හැම පාරිසරික සාධකයක්ම මෙි භුමියේ තියෙන නිසා වනඅලි බෝගහපට්ටියට එන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒක නතරකරන්න විදුලි වැටකට, අගලකට බැහැ.එහෙම කරන්න කවුරු හරි උත්සහ කරනවනම් ඒකෙන් ඔය ප්‍රදේශයේ විතරක් නෙමෙයි බෝගහපැලැස්ස ,බෝගහපට්ටිය,සොරගුනේ, වෑලිය, පතහා,දඩයම්පොළ,අක්කර සියය වෙලන්විට,කුමාරතැන්න,රජවක,සමණලවැව,බලංගොඩ,කපුගල,පල්ලේබැද්දකොලොන්ගස්තැන්න, දියලුම, හිවැල්කදුර,ගම්පහ,මිරිස්වත්ත,නිකපොත, පුනාගල, කොස්ලන්ද, අම්පිටිකන්ද, කියන ප්‍රදේශ වගේම, හම්බේගමුව, තණමල්විල, වැල්ලවාය ප්‍රදේශයේ තියෙන අලි – මිනිස් ගැටුම දරාගන්න බැරිතරම් උග්‍රවිය හැකියි’’

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරන ව්‍යාපාරයේ ජේෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

දහයියාගල අභය භූමියේ අක්කර 15000 කට විහාරස්ථානයක හිමිනමක් අයිතිවාසිකම් කියයි

, “මෙම ඉඩම විහාරස්ථානය සතු සාංගික දේපලකි.කිසිවෙතු මෙහි ඇතුල්වීම තහනම්’’ යනුවෙන්, පසුගිය දවසක, දහයියාගල අභයභුමියේ බැනරයක් ප්‍රදර්ශණයකර තිබුණි. මෙම අභයභුමියට අයිතිවාසිකම් කීමට ඉදිරිපත්ව තිබුනේ, බලංගොඩ, කරගස්ගලාව, ශ්‍රී ශෛල ගංගාරාම විහාරස්ථානයේ, වර්තමාන විහාරාධිපති ලෙස කටයුතු කරන, පුජ්‍ය කරගස්තලාවෙි ධම්ම දස්සි නම් හිමිනමකි.උන් වහන්සේ පවසන්නේ තම විහාරස්ථානයට මෙම අභය භුමිය ඇතුලුව දහයියාගල ප්‍රදේශයේ අක්කර 15000කට පමණ හිමිකමක් ඇති බවය.

“ මෙි ඉඩම අපේ විහාරස්ථානයට සන්නකින් හිමිවුවක්. අපිට මෙහි අක්කර 15000කට වඩා තියෙනවා. 1950 කාලයේ, මෙි ඉඩම් මගේ නායක හාමුදුරුවන්,ගමේ අයට බදු දුන් බවට සාක්ෂිත් අප සතුව තියෙනවා. මෙි පන්සල් ඉඩම රජය මැදිහත්වෙලා අපිට මැනලා වෙන්කරලා දෙන්න කියලා, ප්‍රාදේශිය ලේකම් තුමාගෙන්, මිනින්දොරු එකෙන් අපි කාලයක ඉදලා ඉල්ලීම් කලත් වැඩක් වුනේ නැහැ.ඒ නිසා අපි මෙහි කොටසක් පෞද්ගලික මිනින්දොරුවකු ලවා මැනුමක් කලා. ඒ පිඹුරත් අප සතුව තියෙනවා. මේ අභයභුමිය සහිත කැලැවට අපේ තියෙන අයිතිය අතහරින්නත් අපි සුදානම් නැහැ’’ උන් වහන්සේ එසේ පවසමින් දුරකථනය විසන්ධිකලේ,තමන් ගමනක් යන ගමන් ඉන්නේ එනිසා කථාකරන්න අපහසු බව පවසමිනි.

සමස්ථ දහයියාගල අභයභුම්යේම විශාලත්වය, අක්කර හත්දාහක් පමණය. නමුත් මෙම හිමිනම පවසන්නේ තමන්ට මෙහි අක්කර 15000ක හිමිකමක් ඇති බවය.උන් වහන්සේ ගම්වැසියන්ට පවසා ඇත්තේ, මෙම ඉඩම් නිරවුල්කර ගැනිමෙන් පසු ජපන් ආයෝජකයෙක් සමග එකතුව මෙහි කෘෂි ව්‍යාපෘතියක් ආරම්භකිරිමට අදහස්කර ඇති බවය. කරගස්ගලාව, ශ්‍රී ශෛල ගංගාරාම විහාරස්ථානයේ, විහාරාධිපති හිමියන්, මෙම අභයභුමියේ ඉඩම්වලට අලුතින් අයිතිවාසිකම් කීමෙන් දහයියාගල අභයභුමිය සමිබන්ධයෙන් අලුත් අර්බුධයක් මතුව තිබෙි. අප මේ සම්බන්ධව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි දහයියාගල අභයභුමිය ඇතුලත්,උඩවලව ජාතික වනෝද්‍යානයේ කල්තොට අඩවිය භාර,වනජිවි අඩවි ආරක්ෂක එන්.ඒ අජිත්කුමාර මහතාගෙන් විමසිමක් කලෙමු. එහිදි ඒ මහතා මෙසේ පැවසුවෙිය.

“ පහුගිය දවසක ප්‍රදේශයේ පංසලක හිමිනකමක් දහයියාගල අභයභුමියේ දැන්විමක් ප්‍රදර්ශනය කරලා තිබුනා, ඒ අභයභුමිය සහිත කැලෑ ඉඩම අයිති, තමන්වහන්සේටයි.ඊට ඇතුල්වීම තහනම් කියලා.කොහොම නමුත් ඊට දවස් කිහිපයකට පස්සේ ඒ හාමුදුරුවොම, ඒ දැන්විම් ගලවා ඉවත්කරගෙන ගිහින් තිබුනා. දහයියාගල කියන්නේ 2002 වසරෙදි ගැසට්කල වනජිවි සංරක්ෂන දෙපාර්තමෙින්තුව යටතේ පාලනය වන අභය භුමියක්. ඒ නිසා මම මෙි සම්බන්ධයෙන් මගේ ඉහළ නිළධාරින් දැනුවත්කරලා. මෙි පිලිබදව වැල්ලවාය මහේස්ත්‍රාත් අදිකරණයේ මහේස්ත්‍රාත්වරයාට මෙි සමිබන්ධයෙන් කරැණු ඉදිරිපත්කරලා, මෙි ඉඩමට ඇතුල් වෙන්නන් අත්අඩංගුවට ගන්න නියෝගයක් ලබාගත්තා.ඒ නිසා දැන් කවුරු නමුත් ඉඩම් අල්ලන්න අභයභුමියට ඇතුල්වුනොත්, මොන තරාතිරමක කෙනෙක් වුනත්, මම අත්අඩංගුවට ඇරන් අධිකරණයට ඉදිරිපත්කරනවා’’ හෙතෙම පවසයි

දහයියාගල සහ බෝගහපට්ටිය වනාන්තර, උඩවලව ජාතික වනෝද්‍යානයට එකතුකරන්න යෝජනාවක්

දහයියාගල අභයභුමිය තුල, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 28ක් පිහිටා තිබෙි.එම වැව් උඩවලව වනෝද්‍යානයේ හා ඒ ආශ්‍රිත හුදෙකලා වනාන්තර වෙසෙන වන අලියන් තම පානිය ජල අවශ්‍යතාවන් සපුරාගන්නා ජල මුලාශ්‍රයන්ය.මින් පොකුණුතැන්න වැව,ගිනිමුලආර වැව,ගිනිඅඟවෙළ වැව හා දිගන්පැලැස්ස වැව, දහයියාගල අභයභුමිය තුල ඇති, වන අලියන්ගේ ප්‍රධාන ජල ප්‍රභවයන්වේ.එමෙන්ම බෝගහ පැලැස්ස, බෝගහපට්ටිය,සොරගුනේ වැනි ප්‍රදේශ, උඩවලව, මව්ආර, ඇතුලු මෙි කලාපයේ ඇති විශාල ප්‍රමාණයේ ජලාශවල හා තවත් ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක,පෝෂක කලාපයද වෙි. මෙහි කැලෑ එළිපෙහෙලි වීම, එම ජලාශවල දීර්ඝකාලින පැවැත්මටද ඉතා අහිතරකර බව පරිසරවෙිදිහු කියති, දහයියාගල සම්බන්ධයෙන් කාලයක සිට තිබෙන මෙම ගැටලුව පිලිබදව අදහස් දක්වන මොණරාගල සොබා පදනම සංව්ධානයේ රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා .

“බෝගහපට්ටිය සහ දහයියාගල කියන්නේ, දශක කිහිපයක සිට මානව ක්‍රියාකාරකම් නිසා පිඩා විදින වනාන්තර දෙකක්. බෝගහපට්ටිය කියන්නේ අදටත් යෝජිත රක්ෂිතයක් විතරයි. නමුත් මේක සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් විය යුතුම වනාන්තරයක්. ඒත් අවාසනාවකට තවම එහෙම ගැසට්වෙලා නැහැ.ඒ නිසා මෙි කැලැ ඉඩම් විවිධ පුද්ගලයින්ගේ ග්‍රහණයට ලක්වෙලා තියෙනවා.පහුගිය කාලේ ජනාධිපති උපදේශකවරයකුත් මෙි කැලේ ඉඩම් අල්ලගෙන තිබුනා. ඒ වගේම දහයියාගල අභය භුමියක් වුනාට. ඒක ඇතුලේ සිදුවන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් කිසිවක් අඩුවෙලා නැහැ. අදටත් මෙි අභයභුමිය වටේ ඉන්න අය උත්සහගන්නේ,අභයභුමියේ ඉඩම් ටික අල්ලගන්නයි.මෙි කැලෑ ඉඩම් අල්ලන එක පාලනය කරන්න වනජිවි එකටත් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ අභයභුමියක් ඇතුලේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය පහසු දෙයක් නෙවන නිසයි. ඒ නිසා අපි කියන්නේ, බෝගහපට්ටිය වෙනමත්, දහයියාගල වෙනමත් අභයභුමි හෝ රක්ෂිත ලෙස ගැසට් නොකර, මෙි දහයියාගල සහ බෝගහපට්ටිය කියන වනාන්තර දෙකම උඩවලව ජාතික වනෝද්‍යානය ඇතුලට ඇරන් උඩවලව ජාතික වනෝද්‍යානය තවත් පුලුල් කරලා ගැසට් කරන්න කියලයි. එහෙම උනාම මෙි වනාන්තර පද්ධතියම එකක් නිසා මෙහි ජිවත්වන වනජිවින්ගේ ආරක්ෂාව වගේම, වනෝද්‍යානයක් නිසා මෙි කැලෑවල ආරක්ෂාවත් තහවුරු වෙනවා.උඩවලව ඇතුලු ලොකු,කුඩා විශාල ජලාශ ප්‍රමාණයක පෝෂක ප්‍රදේශ සංරක්ෂනය වෙනවා විතරක් නෙමෙයි මෙි ප්‍රදේශය වන අලි බහුල කලාපයක් නිසා උඩවලව සංචාරක කලාපය පුලුල්කරලා සංචාරක කර්මාන්තය දියුණු කිරිම මගින්, රටේ ආර්ථිකය විතරක් නෙමෙයි. දහයියාගල, අවට ගම්මානවල ජිවත්වන ජනතාවගේ ආර්ථිකයත්, ග්‍රාමීය ආර්ථිකයත්, ශක්තිමත් කරන්නත් පුලුවන්’’ හෙතෙම පවසන්නේය.

නයනජීව බන්ඩාර ගේ මුහුණු පොතින් උපුටා ගත්තකි.