ගරු අගමැතිතුමියනි,
ලෝක උරුමයන් වු අපේ උරුමයන් සුරැකීම වෙනුවෙන් අපේ උරුම අනාගත පරපුරට දායද කිරීම සහතික කිරීමේ කමිටු සභාපතිත්වය නිල බලයෙන් දරන්නේ ඔබ විසිනි.
උදළු තලයක් ගැසීම පවා තහනම් කර ඇති පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඉපැරණි තාප්ප ඩෝසර දමා ඉදිකිරීම් කඩා බිඳ දැමීමටත් ඒ මත නව කොන්ක්‍රීට් ගේට්ටු, ඉදිකර භුමිය කොටස් කර වැටවල් යොදා කොටුකර ඇත්තේ කුමක් රැකීම සඳහා ද?
හේමරතනලාට දැරියන් දූෂණය කිරීමට ද?
මේ පූජා භුමිය එහෙම බෙදා වෙන් කරන්නෙ ඇයි? ඒක අයිති බැතිමතුන්ට. ඔවුන් ට නිදහසේ ගස්යට වාඩිවී ශ්‍රද්ධා සම්පන්නව මොහොතක් ගතකරන්න ඉඩ නොදීමට තීරණය ගත්තේ කවුද? බැතිමතුන් පටු තීරු වලට ගාල් කර තෙරපවන්නේ ඇයි.
අර වැලි මළුවේ වැලි සිසිලස වසා ටෙරා කොටා කිරීම ඔබ අනුමත කරනවාද? එය අනිවාර්යයෙන්ම නැවත වැලිමළුව ක් බවට පත් කළ යුතුයි කියා ඔබට නොහැඟෙන්නෙ ඇයි?
මෑතකදී පැරිසියේ පැවැත්වුණු සමුළුවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව ඔබට මැනවින් අවබෝධ වූවාට කිසිදු සැකයක් නැත.
මේම ව්‍යාපෘති ආරම්භ කළ දිනවල පටන් මම ද මහපොළොවේ දූවිලි මතින් රැකියාව ඇරඹා අද වන තුරුම මගේ ලේඛන කලාව ද ඒ මතම පිහිටා සිටින අයෙක් ලෙස මේ ලියන්නේ අතිශය සංවේදී තාවයකිනි.
ලෝක උරුම සිද්ධස්ථානයන්ට පමණක් නොව දිවයිනේ මෙතෙක් හමුවී ඇති සහ අනාගතයට ගවේශණය කර සොයාගැනීමට ගැඹුරු විභවයක් ඇති සියලුම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වල සිදු කර ඇති අත්තනොමතික ඉදිකිරීම් සහ ඒවා කර ඇති නග්න තක්කඩි ස්වභාවය ගැන සංවේදී තාවයක් ඔබට උපදින්නේ නැති ද?
උරුමය යනු අස්පර්ශණීය (intangible) සහ ස්පර්ශණීය ( භෞතික පුරාවස්තු) වල අවියෝජනීය සංකළනයකි. මහජනතාව විසින් සැබෑ වෙනසක් සඳහා නිර්මාණය කළ ආණ්ඩුව මේ කාබාසිනියා කර ඇති ක්‍රමය එලෙසම නඩත්තු කරගෙන යෑම ඔබ අනුමත කරනවාද?
ඔය අනවසර ඉදිකිරීම් සියල්ල සඳහා අවසර නිර්දේශ දී ඇති බව ඔවුන් පවසනු ඇත. එහෙම නම් තක්කඩි ලෙස අවසර දුන්නේ කෙසේද? කාගේ වුවමනාවන්ට ද? කවුරුත් විසින් ද යනාදී වශයෙන් සැබෑ විමර්ශනයක් නොකර ඔබට කිසිම අනාගත සුරක්ෂිතබවක් තහවුරු කළ නොහැකි ය.
රටේ සංචාරක කර්මාන්තය යනු මේ ස්පර්ශනීය සහ අස්පර්ශණීය උරුමයන් ගෙ අවියෝජනීය සංකළනයේ මහිමය මතම ගොඩනැගෙන ආර්ථික කටයුත්තකි. සමස්ත රටේ ආධ්‍යාත්මය ගොඩනැගෙන්නෙ එලෙසයි.
මේ ගැන ඔබේ අවධානය යොමු කර, පෞද්ගලිකව මෙම ස්ථාන රැකබලා ගත් ඉපැරණි ශිල්පීය වියතුන්ට මොහොතක් සවන් දීමට ඔබේ චෛතසිකය යොමු වේවා යයි ප්‍රාර්ථනා කරමි.
සුමනා විජේරත්න
නාගරික සංවර්ධන අධිකාරිය හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, මධ්‍යම පළාත




Author of this article can be contacted at Sumana Wijeratna




