Udapalatha-Div-Sec

ස්වභාවික යුක්තියේ මූලධර්ම , පිළිගත් නීති, සම්ප්‍රදායන් කැලේ !

රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශය, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම කෝ? – මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙතරම් බලයක් කොහෙන්ද?

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යනුවෙන් සඳහන් දැන්වීමක් සහිත වාහනයකින් උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කිහිප දෙනෙක් දිසාපති කාර්යාලයේ අභ්‍යන්තර විගණනය විසින් මුද්‍රා තබා පසුව තවත් පිරිසක් විසින් විවෘත කර යතුර බාහිර පුද්ගලයකුට දී තිබූ කාමර තුන අද යළි විවෘත කළහ.

ඊට පෙර මෙම කාමර තුන අධීක්ෂණය කළ ක්ෂේත්‍ර නිලධාරීන් තම කාර්යාලයට කැඳවා උඩපලාත වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා සාකච්ඡාවක් පවත්වා තිබුණු අතර ඊට පෙර භාණ්ඩ බෙදාදීමට අදලව රැගෙන ගියැයි කියන ලේඛන බාර ගන්නා ලෙසට වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිකුරාදා නියෝග කළ සමෘද්ධි සම්බන්ධ නිලධාරිනිය ද නැවත ප්‍රාදේශීය ලේකම්ගේ කාර්යාලයට කරඳවා තිබිණි.

දිසාපති කාර්යාලයේ භ්‍යන්තර විගණනයේ යැයි කියාගන්නා කණ්ඩායම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ වෙලාවෙන් පසු, මාණ්ඩලික නිලධාරීන්ද නොසිටි අවස්ථාවක තොග ගණනය නොකර කාමරය වසා දමා දිසාපතිගේ නියෝගය පරිදි යැයි සඳහන් අත්සන් තුනක් පමණක් සහිත කොලයක් සෙලෝටේප්වලින් අලවා, කාමර තුනේ යතුරුද රැගෙන පිටව ගියේ පසුගිය ජුනි 23 වැනිදා ය.

ඊට පසු දින ඔවුන් යළි අතිරේක දිසාපති ද සමග පැමිණ,ඔවුන් විසින් රැගෙන ගිය යතුරු බලහත්කාරයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට උත්සාහ කළේය. ඒ, පෙරදින රාත්‍රියේ මේ පිරිසගේ මෙහෙයවීම මත පැමිණි පිරිසක් වැටවල්වලින් පැන සෙලෝටේප් ගලවා පරණ භාණ්ඩ කිහිපයක් කාමරයට දමා, තවත් භාණ්ඩ ටිකක් ඉවත් කර ඇතැයි යනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තරයේ විශේෂ කතා බහක් ඇතිවී තිබියදී සහ ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසියට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණිලි කර තිබියදීය.

එම පැමිණිල්ලට කිසිම විමර්ශනයක් නොකළ ගම්පොල පොලිස් ස්ථානාධිපතිවරයා, මෙය පරිපාලන ප්‍රශ්නයක් පමණක් බව කියමින් විමර්ශන නොකරන බව ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දුන්නේය. පොලිසියට සිවිල් අපහාසයක් ගැන විමර්ශන කිරීමට කිසිම බලයක් හා හැකියාවක් නොමැති වාතාවරණයක අම්බුළුවාවේ පැමිණිල්ලක් මත මෙම සටහන ලියන මා පොලිසියට කැඳවීමට ලියුම් ගැසූ ගම්පොල පොලිස් ස්ථානාධිපතිවරයා, යතුරක් නිසි ක්‍රමවේදයකින් තොරව රැගෙන යා⁣ම ගැන කළ පැමිණිල්ල කිසිම විමර්ශනයක් නැතුව අවසන් කළේ කාගේ බලපෑමකටදැයි සොයා බැලිය යුතුය. ඔහු මේ ගැන විමර්ශන ආරම්භ කළේ ස්ථානාධිපතිගේ අනීතික පැහැර හැරීම ගැන මහනුවර නියෝජ්‍ය පොලිස්පතිට අදාල පාර්ශ්වයක් දැනුම්දීමෙන් පසුවය.

ඊට පසු දින එනම් 25 වෙනිදා යළිත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් යැයි කියාගන්නා කණ්ඩායමක් සමග මහනුවර දිසාපතිගේ අභ්‍යන්තර විගණන කණ්ඩායම සහ ජනමාධ්‍යය, පොලිසිය ඇතුළු පිරිසක් පැමිණ නිසි ක්‍රමවේදයකින් තොරව කාමර විවර කර ඇතුළට ගොස් භාණ්ඩ කිහිපයක් ඔවුන්ගේ බාරයට ගෙන , එහි සිටි ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේය. එය දැනගත් ප්‍රාදේශීය ලේකම්වරිය මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහි වූ අතර එම එරෙහිවීම පමණක් මාධ්‍ය කිහිපයක් ඔස්සේ විකාශය කළේය.

එසේම මෙම මුද්‍රා තැබීම කළේ ජාතික විගණන කාර්යාලය හා එක්ව බවට ව්‍යාජ තොරතුරක් ද ජනමාධ්‍යවෙත ලබා දී තිබුණු අතර දිසාපතිවරයා මූලාශ්‍ර කරගෙන ඇතැම් මාධ්‍ය වාර්තා කලේ ගබඩාවල කල්ඉකුත් වූ ද්‍රව්‍ය තිබුණු බවයි. එලෙස තොරතුරු ලබාදීමට පෙර තොගබඩු ගණනයක් හෝ කර නොතිබිණි. අඩු තරමේ එම භාණ්ඩ ඇත්තටම කල් ඉකුත්වී තිබුණේද යන්නවත්, ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණේ කෙසේද, කවදාද යන්නවත් නිසි පරිදි සොයා බලා නොතිබිණි.

එදින පැමිණි පිරිස කාමර නැවත වසා යතුර මුරකරුගේ කාමරයේ තැබූ අතර එය සිකුරාදා දිනයක් විය. ගම්පොල පොලිස් ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේ “සඳුදා වෙද්දි වැඩේ හරියයි” යනුවෙනි. ඊට අදාල සාක්කිද තිබේ. එයින්ම පැමිහැලි වන්නේ සඳුදා වන විට ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙසට මාධ්‍ය සමග මෙම වැටලීම් සිදුවී ඇති බවයි.

ඉන් පසු ප්‍රාදේශීය ලේකම්වරියට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම්දී තිබුණු අතර එම අවස්ථාවේදී දැනුම් දී තිබුනේ යතුරු ප්‍රශ්නය නිසා නිලධාරීන්ට ගැටළුවක් විය හැකි බැවින් එම යතුරු බාර ගන්නා ලෙසයි. යතුරු ගෙනයාමේ ක්‍රියාවලිය පරිපාලන නීතිය යටතේත්, අපරාධ නීතිය යටතේත් වරදක් බව කියමින් ප්‍රාදේශීය ලේකම්යරිය එම යතුරු බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර තමා සම්බන්ධයෙන් කරන ඕනෑම ස්වාධීන විමර්ශනයකට සහයෝගය දක්වන බව ලිඛිතව ඇය දැනුම් දී ඇත.

පසුව විමර්ශනයක් පැවැත්වෙන බැවින් යැයි කියමින් ප්‍රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරු කළ අතර විමර්ශනය කුමක් සම්බන්ධයෙන්ද යන්න ගැන ඇයට දැනුම්දී නොතිබිණි.

ඉන් පසු වැඩබලන ප්‍රාදේශිය ලේකම් ලෙස මහනුවරම වෙනත් ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස කටයුතු කරන කීර්ති වීරසිංහ මහතා පත් කරනු ලැබූ අතර ඔහු පසුගිය බ්‍රහස්පතිදා මුලින්ම උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තිබිණි. ඔහු පැමිණීමට පෙර දින ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියාගන්නා කණ්ඩායමක් පැමිණ කාර්යාලය පරීක්ෂා කර පිටව ගොස් තිබූ අතර ඔවුන් සමග දිසාපතිගේ අභ්‍යන්තර විගණනයේ නිලධාරිනියක ද පැමිණ සිටියාය. ඇය මීට පෙර ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව අසත්‍ය තොරතුරු ෆේස්බුක් ඔස්සේ ෂෙයාර් කළ තැනැත්තියක වන අතර ඒ ගැන අත්‍යවශ්‍ය ⁣සේවා කොමසාරිස් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම්වත් කර තිබියදී ඇය නැවත පැමිණිම ගැටළු සහගතය.

බ්‍රහස්පතින්දා දිනයේ 2025 දෙසැම්බර් මාසයට පෙරදාතම කළ ලිපියක් මහනුවර අපදා සහන සේවා නිලධාරීන් අත එවා තිබුණු අතර ඊට අත්සන් තබන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. මාස හයකටත් වැඩි කාලයක් පෙරදාතමක කළ සහ ව්‍යාජ කරුණු සහිත ලිපියකට අත්සන් කළ නොහැකි බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැනුම්දී තිබිණි.

ඉන් අනතුරුව පසුගිය සිකුරාදා හවස වැඩබලන ප්‍රාදේශීය ලේකම් කීර්ති මහතා පැමිණි අතර ඔහුට පිටුපස වෙනම වාහනයක දිසාපතිගේ අභ්‍යන්තර විගණනයේ නිලධාරීහු පැමිණියහ. ඔවුන් යලි පැමිණියේ ඔවුන්ට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසියට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ට පැමිණිලි කර තිබියදීය.

පැමිණි පිරිස ප්‍රාදේශී ලේකම් කාර්යාලයෙන් රැගෙන ගිය බඩු බෙදාදීමේ ලේඛන බාරදීම සඳහා ගබඩා බාරකරු සොයා ඇති අතර ගබඩා බාරකරු එදින නිවාඩුපිට සිට ඇත. ඉන් පසු මේ කිසිවක් නොදත් සමෘද්ධි සම්බන්ධ නිලධාරිනියකට අදාල ලේඛන බාර දී ඇති අතර ඒවා බාර ගැනීමට නොහැකි බව ඇය දැනුම් දුන් පසු, වැඩ බලන ප්‍රාදේශීය ලේකම් දැනුම් දී තිබුණේ තමා නියෝග කරන බැවින් ඒවා බාර ගන්නා ලෙසයි. මෙම ලේඛන රැගෙන යද්දි ඒවයේ සහතික පිටපතක්වත් නොතබා රැගෙන යාම ද ගැටළුසගත වූ අතර එවැනි අවස්ථාවක වෙනත් තැනැත්තියකට ඒවා බාරදීම ඊට වඩා ගැටළු සහගත විය. එසේම කල් ඉකුත්වූ බව කියමින් රැගෙන ගිය භාණ්ඩ යැයි කියනු ලබන භාණ්ඩද යළි රැගෙන විත් කාර්යාලයට බාරදී ඇත.

ඉන් පසු අද දින උදෑසන වැඩබලන ප්‍රාලේකම් කීර්ති මහතා සමෘද්ධි සම්බන්ධ නිලධාරිනිය කැඳවා කැඳවා ඇති අතර , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් පිරිසක් මේ ආකාරයටම කැඳවා ඔහු සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන් අනතුරුව සවස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් යැයි කියාගන්නා කණ්ඩායමක් පැමිණ තුන්වැනි පාර්ශ්වයක් අතට නීති විරෝධීව පත් කර තිබූ යතුර රැගෙන එන ලෙස ක්ෂේත්‍ර නිලධාරීන්ට දැනුම් දුන් අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කළ පසු පරිපාලන නිලධාරී දැනුම් දී ඇත්තේ අදාල යතුරු ලබාගෙන කාමර තුන විවෘත කරන ලෙසයි. ඉන් පසු භාණ්ඩ ගණන් කිරීම සිදු කරද්දී පෙනී ගොස් ඇත්තේ මුල් ලේඛනවල සඳහන් භාණ්ඩවල යම් වෙනස්කමක් ඇති බවයි. කාමර මුද්‍රා කිරීමට පෙර කළ යුතු කටයුත්ත කාමර මුද්‍රාකර දින 20කට පමණ පසු ඔවුන් සිදු කරන්නේ කාගේ වුවමනාවක් මතද යන්න සහ එහි අරමුණ කුමක්ද යන්න ගැන බරපතල ගැටලුවක් පවතී. කාමර නැවත වසා දමා යතුර ක්ෂේත්‍ර නිලධාරීන්ට දුන් පසු එම යතුර බාර ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

මේ අතර හෙට දින (14) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් එන බව පවසමින් ඔවුන්ට සහයෝගය දෙන ලෙස දැනුම් දෙමින් වැඩබලන ප්‍රාදේශීය ලේකම් කමිටුවක් පත් කර ඇති අතර ඊට පිරිස තෝරාගත් ක්‍රමවේදයද ගටළු සහගතය. එසේ නම් අද සිදුව ඇත්තේ හෙට විමර්ශන⁣යේදී ප්‍රාලේකම්වරිය අමාරුවේ දැමීමේ හෝ දිසාපතිවරයා බේරීමේ ක්‍රියාවලියක පෙර සූදානමක්ද යන්න ගැන බරලතල ගැටළුවක් ඇත.

දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්ට එරෙහිව කටයුතු කරනවායැයි බරපතල චෝදනාවක් එල්ලවී තිබියදී ඔහුගේ කාර්යාලයේ නිලධාරීන් මෙලෙස දිගින් දිගටම යෙදවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉඩදී සිටින්නේ ඇයිද යන්න බරපතල ගැටළුවකි. එයින් පෙන්නුම් කරන්නේ මෙය සාධාරණ විමර්ශනයක් නොව, ප්‍රාදේශීය ලේකම්වරිය ඉලක්ක කර ගත් පෞද්ගලික පලිගැනීමක්ම පමණක්ම බව නොවේද?

රාජ්‍ය පරිපාලන ඇමතිවරයා, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම ⁣මීට අදාලව කඩිනමින් මැදිහත්විය යුතුව ඇත. පැමිණිල්ලක් නොමැතිව වුවද මෙවැනි බරපතල අවස්ථාවක මැදිහත්වීමට ඔවුන්ට බලය ඇත.



පහත දැක්වෙන්නේ ඉහත සිද්ධියටම අදාලව එම ලේඛකයා විසින්ම තැබූ විස්තරාත්මක සටහනකි.

දිසාපති ප්‍රදේශීය ලේකම්ට උඩින් තමයි : ඒත් නීතියටත් උඩින්ද?

දිත්වා ආපදාවේදී බෙදාහැරීම සඳහා ලබා දුන් රුපියල් කෝටි ගණනක් වටිනා ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ මහජනතාවට බෙදා හැරීම නොකර ගබඩා කර තැබීයැයි කියන සිද්ධියක් ගැන ගම්පොල උඩපලාත ප්‍රදේශීය ලේකම්වරියට එරෙහිව සංවිධානාත්මක ප්‍රචාරයක් යමින් තිබේ.

මෙය ඉතා සැලසුම් සහගත කටයුත්තක් වන අතර එහි අරමුණ ප්‍රාදේශීය ලේකම්වරිය ගම්පොල උඩපලාතෙන් ඉවත් කරවීමය.

පසුගිය දිනවලදී විගණකාධිපති දෙපාර්මේන්තුවේ නිලධාරීහු පිරිසක් ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ විගණන කටයුතු කරමින් සිටියහ. මීට තෙදිනකට පෙර එලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පිටව ගොස් තිබියදී සවස්වරුවේ දිසාපතිගේ නියෝග මත යැයි කියමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේයැයි කියාගන්නා තිදෙනකු පැමිණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනක් සීල් තබා තිබේ.

මේ සිද්ධිය වන අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරිය සිට ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමකය.සාමාන්‍යයෙන් කාමරයක් සීල් තැබිය හැක්කේ නිසි බලයක් සහිත නිලධාරීන්ට වන අතර දිසාපතිගේ නියෝජිතයන්ට එවන්නක් කිරීමේ හැකියාවක් නැත. එසේ තිබියදී පැමිණි නිලධාරීන් තිදෙනාගේ අත්සන සහ දිසාපතිගේ නියෝග පරිදි මුද්‍රා තබන බවට වන සටහනක්ද සහිත කොලයක් දොරවල්වල අගුලේ අලවා අත්සන් තුනක් තබා වටේට සොලෝටේප් ඔතා කාමර තුනක් සීල් කර ඒ්වායේ යතුරු රැගෙන ඔවුන් පිටත්ව ගොස් තිබේ.

නීතිය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යතුරු තැබිය යුත්තේ පොලිසියේ වුවද මෙම නිලධාරීන් කාමර තුනේ යතුරු අරගෙන යාම නිසා ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඊට හේතුව යතුර පිටස්තර පිරිසක් අත තබා ගැනීම සහ හොර යතුරක් කපාගෙන යම් හොරකමක් වුව කිරීමේ හැකියාව ඇති හෙයිනි.කාමරයක් මුද්‍රා තබද්දී කළ යුතු කටයුතු ඔවුන් කර නැත.

මුද්‍රා තැබීම ගැන ප්‍රචාරය කරද්දී විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග එක්ව එය කළ බවට ජනමාධ්‍යවලට වැරදි තොරතුරු ලබා දෙමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බරපතල අපරාධයක් සිදුවී ඇති බව හුවා දැක්වීමට උත්සාහ කලේය. ඇතැම් මාධ්‍ය බෙදාහැරීමට ඇතිබඩු යැයි කියමින් පෙන්වූයේ ප්‍රාලේකම් කාර්යාලයේ ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩය.

ප්‍රදේශීය ලේකම් පොලිසියට පැමිණිල්ල දැමීමෙන් පසු දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ජනමාධ්‍ය සමග පැම්ණ ගබඩා පරීක්ෂා කිරීමට යාමේදී ප්‍රාදේශීය ලේකම්වරිය විරෝධය දැක්වූයාය. තොග බඩු ලැයිස්තුව නොගෙන හිතුමතේ සීල් තැබීම නීතු විරෝධී බව ඇය පෙන්වා දුන්නාය.

ඔවුන් සීල් කළ කාමර පරීක්ෂා කරද්දී එතන සිටි අයගෙන් මේමොනවා දැයි විමසූ අතර නිශ්චිතව මේවාට අදාල ලේඛන නඩත්තු කරන නිලධාරීන් එහි සිටියේ නැත. ඉතින් මාධ්‍ය වාර්තා කලේ භාණ්ඩ ලැබුණු විදිහක්වත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නොදන්නා බවයි. භාණ්ඩ ගැන තොරතුරු නැතිනිසා එහි සිටි අයෙක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පරීක්ෂා කිරීමට ආ ආයෙක් නියෝග කළ අතර එය දැනගත් ප්‍රාදේශීය ලේකම්වරිට එම ස්ථානයට පැමිණ ආවේගයෙක් විරෝධය පල කළේ. ඔහු වෙනුවට තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඇය කීවාය. මේ සියල්ලට පෙර නීති විරෝධීව ගබඩා සීල් කිරීම ගැන විමර්ශන කරන්නැයි ඇය ඉල්ලා සිටියාය.

එම භාණ්ඩ ලැබුන දිනයවත්, ඊට පෙර දිනත් ඉන් කොටසක් බෙදූ බවවත් නොදත් අදාල නිලධාරීන් මාධ්‍ය ඉදිරිපිට හැසිරුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බරපතල වරදක් කර ඇති ආකාරයටය.

කාමර සීල් කර රැගෙන ගිය යතුරු ඉන් පසු නැවත ග්‍රාමනිලධාරියකුට බාරදීමට උත්සාහ දරා ඔහු එය ප්‍රදේතික්ෂේප කළ පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිකියුරිටිට යතුරු බාර දී නිලධාරීන් පිටව ගොස් තිබේ. සිකියුරිටිට යතුරු බාරදීම ද ඉතා බරපතල තත්ත්වයකි.

කල් ඉකුත් වූ සහ ගුල්ලන් ගැසූ හාල් කිලෝ කිහිපයක් සහ තවත් භාණ්ඩ එහි තිබුණු අතර සැවොම කලබල විය යුතුව තිබුණේ එවැනි නුසුදුසු ආහාර ද්‍රව්‍ය මහජනතාවට බෙදා හැර තිබුනේනම්ය. ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී ඇත්තේ දිත්වාවලින් මාස ගණනකට පසු වන අතර ඇතැම් ඒවා ගැබෙන විටත් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබී ඇත. එහෙත් නිලධාරීන් නිසි ක්‍රමවේදයට නිලධාරීන්ගේ ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නොතිබුණු නිසා ඇත්ත තත්ත්වය දැනගෙන සිට නැත.

එසේම ලංකාවේ වැඩිපුරම භාණ්ඩ බෙදා හැරි ප්‍රාදේශීය ලේකම් තාර්යාලවලින් මෙය ඉදිරිපෙළ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බව හෝ සීල් තැබීමට පෙර දින ද භාණ්ඩ තොගයක් බෙදා හැරි බවහෝ පැමිණි නිලධාරීන් මෙන්ම මාධ්‍යද දැනගෙන හිටියේ නැත. ප්‍රාලේකම්ට මඩ ගැසීමට පෙර එම ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුව බැලුවේ නම් ඒවා පහසුවෙන් බලාගැනීමට හැකියාව තිබිණි.

නොබෙදූ බඩු යැයි පෙන්වූ ඇතැම් ඒවා නව නිවාසවලට යද්දී මහජනතාවට ලබාදීමට නියමිත ඒවා බවවත් චෝදනා කළ පිරිස් දැන සිටියේ නැත.

ප්‍රාදේශීය ලේකම්වරිය අමාරුවේ දැමීමේ මෙම සංවිධානාත්මක වැඩපිළිවෙල පිටුපස සිටින්නේ කවුරුන්දැයි කාමර සීල් කරද්දී තැබූ සටහනින් හොඳින්ම පැහැදිලි වේ. ඔහු මහනුවර දිසාපතිවරයාය. මහනුවර දිසාපති යනු මීට වසර කිහිපයකට පෙර ගම්පොල උඩපලාත ප්‍රදේශීය ලේකම්වරයාය. ඔහු ජයරත්නලාට සින්න කර ගත් අම්බුළුවාවට මහජන මුදල් වියදම් කරඇති බවට අල්ලස් කොමිසමේ පැමිණිලිවලද සඳහන් විය. එසේම ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටි කාලයේ කටයුතු කිහිපයක් ගැන ප්‍රාදේශීය ලේකම්වරිය පැම්ණිලි කරතිබිණි.

දැන් සිදුවන්නේ එලෙස පැමිණිලි කළ ප්‍රාදේශීය ලේකම්වරිය ව්‍යජා කරුණු කියමින් ඉවත් කිරීමේ වෑයමකි. ඊට සමගාමීව ප්‍රාලේනම්වරියට මඩ ගැසීමට සංවිධානාත්මකව fake අකවුන්ට් ක්‍රියාත්මක වෙමින් තිබේ.

දිසාපතිවරයා ප්‍රාලේකම්ට ඉහළින් සිටියාට ඔහු නීතියට ඉහළින් නැත. දැන් කළ යුත්තේ වහාම දිසාපතිවරයාා ඉවත් කිරීමය. නැතහොත් ප්‍රාලේකම්ගෙන් දිගින් දිගටම පලි ගනු ඇත.

මෙහි ඇත්ත සිද්ධිය ගැන සියලු දත්ත සමග කළ වීඩියෝව පහත දැක්වේ.

එසේම ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මේ ගැන තැබූ සටහනක් පහත දැක්වේ.

“උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය

සැලසුම් සහගතව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් !

By ඇන්ටන් පෙරේරා,

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි,

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ (විමර්ශන),

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති.

මීට මාස ගණනාවකට ඉහතදී මෙම ප්‍රාදේශීය ලේකම්වරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවූයේ දිමූ ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්නගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ප්‍රශ්න කරනු සඳහාය. අම්බුලුවාව ව්‍යාපෘතියේ ඉඩම් මංකොල්ලය පිළිබඳව දිගටම සටන් කරමින් සිටි මෙම නිලධාරිනිය එහිදී විශාල අක්‍රමිකතාවන්ට අදාල හෙළිදරව් කිරීම් ගණනාවක් සමාජගත කිරීමට සමත් වූවාය.

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ඇයව දෙවන වරට මර්ධනය කිරීමේ මෙහෙයුමයි. එය ඉතා සූක්ෂම ලෙස රාජ්‍ය අංශයේ ආයතනද සම්බන්ධ කරගෙන ක්‍රියාවට නැගීමට නියමිත අතර, ඉදිරි පැය විසි හතර තුල ඇය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීම බොහෝ දුරට සිදුවනු ඇත.

මේ දිනවල එම කාර්යාලයේ කාමර සීල් කොට, එහි තිබූ බඩු භාණ්ඩ පිළිබඳව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනු ලැබේ. රජයේ කාර්යාලයක් මුද්‍රා කිරීම සඳහා මූලික දැනීමක් හෝ මෙම ක්‍රියාවලියට සහභාගි වූ නිලධාරීන්ට නොමැති බව පෙනේ. මෙය කිසිවෙකුගේ මෙහෙයවීම මත සිදුවන්නක් බව ඉතා පැහැදිලිය.

කිසියම් කාර්යාලයක ආක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු ලැබූ පසු එම කාර්යාලයේ කිසියම් ලිපි ලේඛන භාර ගැනීමක් හෝ කාමර සීල් කිරීමක් සිදුකළ යුතු නම්, ඒ සඳහා නිසි බලධරයාගෙන් බලය පැවරූ නිලධාරීන් පැමිණ, තම කාර්යභාරය අදාළ කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන්ට හෙළිදරව් කොට, එම ලිපි ලේඛන හෝ බඩුබාහිරාදිය භාරව සිටින නිලධාරීන් ඉදිරිපිට, ඒ පිළිබඳව ගණනය කිරීමක් කොට, ඒවා ලේඛනගත කල යුතු අතර, එම භාණ්ඩ භාර ගත් බවට ද, අදාල නිලධාරීන් එම භාණ්ඩ භාර දුන් බවටද සාක්ෂිකරුවන් ඉදිරියේඅත්සන් කොට , කාමර සීල් තැබීමට අවශ්‍ය නම්, ඒ සඳහා යොදන මුද්‍රා කාර්යාලයේ නිලධාරීන්ගෙන් ද සමන්විත කමිටුවක් විසින් සිදු කළ යුතුය.

උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර සීල් කිරීම සහ යතුරු භාර ගැනීම, කිසිදු විධිමත් ආකාරයකින් සිදුවී නොමැති බව පෙනී යයි.

මෙම ක්‍රියාවලියෙහි අවසානයේ මූලික විමර්ශනයක් සිදුකොට චෝදනාපත්‍ර ලබාදීමට ප්‍රථම, ප්‍රාදේශීය ලේකම් කිසියම් චෝදනාවක් මත ස්ථාන මාරු කරනු ඇත. කාර්යාල කාර්ය පටිපාටිය පිළිබඳ මනා දැනීමක් ඇති සහ විනය පටිපාටිය පිළිබඳව කෙළ පැමිණි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් මෙවැනි අවස්ථාවල නිහඬව සිටීම පුදුමයක් නොවේ.

මීට දශක තුනකට පමණ ඉහතදී මොණරාගල දිස්ත්‍රික්කයේ බුරුත සහ තේක්ක දැව ජාවාරම ජයටම සිදුවූ කාලවකවානුවේ ඊට අනුග්‍රහය නොදැක්වූ ප්‍රාදේශීය ලේකම්වරුන්, එම කාර්යාල ඉදිරිපිට බොරු මහජන උද්ඝෝෂණ පවත්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කළ ඉතිහාසයක් තිබේ. එහිදී ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් නිහඬව සිටියහ. එම ඉතිහාසයම නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. එදා එය මෙහෙයවනු ලැබුයේ බලයේ සිටි දේශපාලකයන් විසිනි. අද එය මෙහෙයවනු ලබන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම පරිපාලන නිලධාරීන්ගේ යුතුකමකි.”

(සටහන තරිඳු ජයවර්ධන)