මුදලාලි කරඬුව හා තෘෂ්ණාධික පැවිද්​දා

1970 දශකයේ මැ​ද දවසක මම තොටගමු විහාරයේ අලුත් විහාර ගෙට යද්දී [අනංග පිලිමය ඇති විහාර ගෙය] ඇතුලේ පලංචි බැඳ ගෙන කට්ටියක් ගජරාමෙට වැඩ. මොකක්ද කෙරෙන්නේ බැලුවම විහාරගෙයි තිබුණු නුවර යුගයේ අදුරු සිතුවම් උඩින් ලැකර් සායම් ගානව. “ඇයි එහෙම කරන්නේ” කියල ඇහුවම එවකට විහාරාධිපති කෙහෙල්ගමුවේ ජිනරතනගේ ප්‍රධාන ගෝලය පිටුවල සුම​නෙ කීව “මුදලාලි කෙනෙක් සල්ලි දුන්න, මේ චිත්‍ර මිනිස්සුන්ට පේන පාට කරන්න. ඉතින් සල්ලිත් හම්බවෙනව. දායකයන්ට හොඳ හැටි වෙසන්න්තර ජාතකයත් බලා ගන්න පුළුවනි”

ජිනරතනට “මුදලාලි” ගේම ගහන්න ලැබුණේ දවස් දෙකක් විතරයි. දැනුවත් දායකයෝ පුරා විද්‍යාවට පැමිණිළි කළා. පුරා විද්‍යාවෙන් ඇවිත් වැඩේ තහනම් කළා. ජිනරතන කෙදිරි ගෑව. “අපරාදේ මේ ඉරිසියාකාර දායකයෝ එක්ක කිසීම දෙයක් කරන්න බෑ. උන් පෙත්සම් ගහල වැඩේ නැවැත්තුව”

දැන් තොටගමු විහාරයේ සිටි ජිනරතනයි, සුමනයි දෙන්නම නෑ. ඒ අතීත මතකය තියාගෙන මම ජීවත් වෙනව. ඒ අතරේ තමයි මහනුවර ‘කර‍ඬු මාරු කිරීමේ’ පඩත්තල වැඩේ වාර්තා වුණේ.

ලංකාවේ බොහෝ පන්සල් වල ඓතිහාසික උරුමය විනාස කළේ 20 වැනි සියවසේ ප්‍රාදේශීය මට්ටමින් හිටපු දානපතියෝ. නම ගහගන්න – ප්‍රසිද්ධ වෙන්න ආසාවට වගේම, බෞද්ධ පුනරුදයෙන් ඇති වුණ උත්තේජනය නිසා බෞද්ධ විහාර වලට බරපතල විනාසයක් වුණා. සල්ලිවලට කෑදර භික්ෂුන් ලවා තමයි මේ වැඩේ කෙරුණේ.

පැරණි විහාර වල තිබුණ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ගොඩනැගිලි, පිළිම, චිත්‍රකර්ම පමණක් නෙවෙයි විහාර අකෘති පවා හිත් පිත් නැති විදිහට විනාස කළා.

පැරණි ටැම්පිට විහාර, ‘ජරාවාස වුණ පරණ පන්සල්’ කියන කැටගරියට දාලා, සමතලා කරලා, ඒ උඩ දෙමහල් කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදි කළා.පරණ විහාර, ලෙන් විහාර වල තිබ්බ පැරණි චිත්‍ර, ‘ජරාවාස වුණ චිත්‍රකර්මාන්තාදිය’ විදිහට සලකලා, ඒවා උඩින් ලැකර් ගාලා, සාර්ලිස් පන්නයේ චිත්‍ර වලින් සැරසුවා.

මේවට උදාහරණ සිය ගණක් දෙන්න පුළුවනි.

20 වැනි සියවසේ නව ආර්ථිකයෙන් බිහි වුණ නව රදලයන්ගේ දේශපාලන සහ සමාජ පිම්බීම​ට බෞද්ධ විහාර සහ භික්ෂූන් යොදා ගැණුනා. බොහෝ භික්ෂූන් මේ රැල්ලට බිලි වුණා. තමන්ගේ පන්සලේ ඓතිහාසිකත්වයත් බිල්ලට දුන්නා.

මේ සල්ලි ඉස්සරහ දනින් නොවැටුණු ශ්‍රේෂ්ඨ භික්ෂුන් හිටිය. ඔවුන් වාසය කළ පන්සල් වල ඒ ඓතිහාසිකත්වය වෙනස් වෙන්න ඉඩ දුන්නේ නෑ. විශේෂයෙන්ම සියම් නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර යටතේ තිබ්බ පන්සල් ස්වභාවයෙන්ම රාජකීයත්වය, ඓතිහාසිකත්වය රැකුන්ණ. හැබැයි, මම මේ ලියවිල්ල ආරම්භයේම ලියපු තොටගමු විහාරය අයිති සියම් නිකායේ මල්වතු පාර්ශවයට.

වෙලාවක් තියෙනවා නම් කියවන්න, ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ ලියවිල්ලක් තියෙනවා, An open letter to the Kandyan chiefs (1905) කියලා.

කුමාරස්වා​මි තමන්ගේ ලිපියෙ​න්, උඩරට ප්‍රධානීන්ට මෙහෙම කියනව,

“නව ආඥාපනත යටතේ දේවාල හා විහාර නඩත්තුව සඳහා දැන් වෙන් කරනවාට වඩා වැඩි අරමුදල් ලැබෙන්නට ඉඩ ඇත. එසේ වුවහොත්, නුවණින් තොර නැවත සැරසීම හා නැවත ඉදිකිරීම නිසා හානි වීමේ අවදානම තරමක් වැඩි වනු ඇත. මෙම කාරණයේදී ඔබේ මහත් බලපෑම යොදා, මෙම අරමුදල් මෙම ගොඩනැගිලිවල අනවශ්‍ය නැවත සැරසීමට නොව ඒවා ආරක්ෂා කිරීමට යොදවන බවට සැලකිල්ල දක්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. සමහර විට මිල කළ නොහැකි ඓතිහාසික ලේඛන හා සෑම විටම පාහේ නවීන තත්ත්ව යටතේ නිපදවිය නොහැකි කලා කෘති සුරැකීමට අවශ්‍ය වන්නේ ටිකක් සැලකිල්ල හා සිතීම පමණි.”

“මතක තබාගන්න, මේ පොළොවේ කිසිදු බලයකට ඒවා නැවත ආදේශ කළ නොහැකි බව; එකල මිනිසුන් ඉදි කළාක් මෙන් ඔබට තවදුරටත් ඉදි කළ නොහැකි බව.”

මේ එම ලිපියේ උද්ධරණ දෙකක පරිවර්තනයක් පමණයි.

කුමාරස්වාමි, ලාංකිකයෙක් වුණාට සිංහලයෙක්වත්, බෞද්ධයෙක්වත්, සිංහල බෞද්ධයෙක්වත් නෙවෙයි. ඒත් ඔහු කියන්නේ, “අලුතින් දහස් ගුණයක් හොඳ දෑ කරවන්න පුලුවන්; ඒත් අතීතයෙන් රැගෙන ආ දෙයකට ආදේශ කරන්න ඒ කිසිවකට බෑ” කියන පණිවුඩය.

උඩරට ප්‍රධානීන් හෝ ප්‍රභූන් කියලා දැන් කවුරුවත් නෑ. ඒත් උඩරට සිද්ධස්ථාන වල භාරකරුවන් කියලා කොටසක් පත්වෙලා ඉන්නවා. ඔවුන් ඉතාම හොඳින් මතක තියා ගන්න ඕන ඔවුන්, “භාරකරුවන් මිස, අයිතිකරුවන් නොවන” බව. ගිහි පැවිදි කවුරුන් වුවත් ඔවුන් දරන්නේ, සමස්ත බෞද්ධයාගේ – ලාංකිකයාගේ – ලෝකයාගේ භාරයක්.

දැන් දළදාවේ කරඬු මාරුවට එමු.

මහ කරඬුව, ලෝක උරුමයක්. ඒක භාරකාරයන් තුන් දෙනෙකුගේ අභිමතය අනුව වෙනස් කරන්න බැහැ. ලෝක උරුම නගරයේ වටිනාම වස්තුව ; කේන්ද්‍රය වෙන්නේ දළඳා කරඬුව.

මේ මහකරඬුව අවුරුදු 300කට වඩා පරණයි. සිංහල කලාකරුවාගේ විශිෂ්ට නිර්මාණයක්. 1765, 1803, 1804 වර්ෂ වල සිද්ධ වුණ ඕලන්ද, ඉංග්‍රීසි ආක්‍රමණ වලදී පවා කරඬුවට හානි වුණේ නෑ.

මහ කරඬුව හදලා තියෙන්නේ රිදියෙන්. රත්තරන් සුලබ නොවුණ උඩරට රාජධානිය සතුව තිබ්බ, ප්‍රමාණාත්මකව සපයා ගන්න පුලුවන් වටිනාම ලෝහය වුණේ රිදී. ඒ නිසයි මහ කරඬුව රිදියෙන් හදන්නේ. නැතුව රජ්ජුරුවෝ කුණුලෝබයෙක් නිසා නෙවෙයි. අනික, මහකරඬුව තිබ්බේ රජගේ ඇතුළේ. ඒ කාලෙ දැන් වගේ දළදා මාලිගාවක් තිබ්බෙ නෑ.

මේ කරඬු මාරුව ගැන ඕනෑම බැතිබර බෞද්ධයෙකුට බලවත් සංවේගයක් ඇති වෙන්න පුළුවනි.

“රිදී එකට වඩා රත්තරං එක ෂෝක්” කියලා පාරම් බාන භික්ෂුන්, නිලධාරින්, බස්නායකලා, අපුල්ලන්නන් හා සට්ටැඹියන්ගෙ කතා දැකලා. අර දානපතියාට තව කරඬු හදත හැකි. හැබැයි ඉතිහාසයටම පහළ වුණේ, දෙවැනි විමලධර්මසූරිය ලා එක්කෙනයි.

ඒ රජ්ජුරුවෝ හැදුව මහ කරඬු තියෙන්නෙ එකයි. වැලිවිට සරණංකර සංඝරාජ පවා වැන්ද මහ කරඬු තියෙන්නේ එකයි.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ – කීර්ති ශ්‍රී රාජසිංහ – විජය රාජසිංහ – රාජාධි රාජසිංහ – කීර්ති ශ්‍රී රාජසිංහ කියන රජවරු පවා වැඳුම් පිදුම් කරපු මහකරඬු තියෙනවා නම්, ඒ එකම එකයි. බ්‍රවුන්රිග්, ඩොයිලි පවා ගරු සරු දක්වපු කරඬු තියෙනවා නම් ඒ එකම එකයි.

මොණරවිල කැප්පෙටිපොළ, තමගේ උතුරු සළුව ගලවලා පූජා කරපු මහකරඬු තියෙනවා නම් ඒ එකම එකයි.

ඒ එකම එක කරඬුව රිදී තමා!

රත්තරන් කිලෝ 65 ක් තියෙන ධනව​ත් මුදලාලි කෙනෙක්ට ඒකෙන් අභිමතයක් කරන්න පුලුවන්. ඒත් තාවකාලිකව පත් වෙලා ඉන්න කිසිම ගිහි පැවිදි භාරකාරයෙකුට අයිතියක් නෑ, ඒ සා මහාර්ඝ පූජා වස්තුවක් තමන්ගේ අභිමතය අනුව පැත්තකට දාන්න. ඒ වගේම කිසිම කෙනෙකුට අයිතියක් නෑ, ඒක පරණයි; එච්චර වටින් නෑ; මේක රත්තරන්; ගොඩක් වටිනවා වගේ අදහසක් දක්වන්න.

උරුමයක වටිනාකමක් නොදන්න මෝඩ මිනිස්සු, තමනුත් නැහිලා, උරුමයත් නසනවා!

අලුත් මුදලාලි කරඬුව තක්සේරු කරලා, මිලක් දෙන්න පුලුවන්. ඒත් අර මහ කරඬුවට මිලක් නියම කරන්න පුලුවන්ද?

මේ ගැන කම්පා වෙන මිනිස්සු ෆේස්බුක් එකේ ලියලා වැඩක් නෑ. මහ කරඬුව කියන්නේ, පුරාවස්තු ආඥාපනත යටතට ගැනෙන දේපලක්. විහාර දේවාලගම් පනතට ඒක සම්බන්ධ වෙන්නේ දළඳා මාලිගාව සතු ඉන්වෙන්ට්‍රි භාණ්ඩයක් විදිහට විතරයි. ඒ නිසා, කරඬුව මාරු කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට නෛතික බලයක් පනතේ කොහෙන්වත් පැවරිලා නෑ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, පුරාවස්තු ආඥා පනතේ බලතල වක්‍රාකාරව ක්‍රියාත්මක කරලා නින්දිත බලාතික්‍රමණයක් කරලා තියෙනවා. ඊටත් වඩා, පරණ එක රිදී, අලුත් එක රත්තරන් කියලා කඩප්පුලි වනචර කතාවක් කියලා හෝදන රස්සාවත් කරනවා බෞද්ධ කොමසාරිස්. ගම්බද ගොබ්බයන්ට රත්තරන් කියන්නේ මහා ලොකු වටිනාකමක් වගේ දැනුනාට, ඊට වඩා මිල කළ නොහැකි වටිනාකම් තියෙන දේවල් තියෙනවා කියලා තේරුම් ගන්න තරම් ප්‍රබුද්ධ මොල ගෙඩියක් නෑ. එහෙව් උන් තමා, පරිපාලන සේවය, නරිනාවන සේවයක් කරලා තියෙන්නේ.

ඒ වගේම තාමත් ඇහැකන පියාගෙන ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේකට වග කියන්න ඕන. මේ ආණ්ඩුව තියා මොන ආණ්ඩුව ආවත් මේ වගේ කඩප්පුලි වැඩ වලට විරුද්ධ වෙන්නේ නෑ.

ඒ නිසා, යුනෙස්කෝව මේ ගැන දැනගන්න ඕන. මේ බරපතල – වැරැදි පූර්වාදර්ශය ගැන යුනෙස්කෝවට ලියන්න. කරන්න තියෙන්නේ එච්චරයි. පුලුවන් තරම්, ඊමේල් මගින් ඔවුන්ට දැනුම් දෙන්න. මේකේ වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවටත් බෑ. උන්ට පිස්සු කෙලින්න දීල අහක බලා ගෙන ඉන්න ආන්ඩුවට නොහැකියි. පරණ ඒවා අලුත් කරනවා කියලා, සිරීපාදේ ඝණ්ඨාය මාරු කරලා, ‘මුදලාලි ඝාණ්ඨාරයක්’ හයි කරා. පරණ එකට වෙච්ච දෙයක් සමන් දෙයියොවත් දන් නෑ.

ඊට පස්සේ, රුවන්වැලි සැයේ චූඩාමාණික්‍යය පරණයි කියලා ඒක මාරු කරා. පරණ චූඩාමාණික්‍ය සහිත කොතේ තිබ්බ මැණික් ගල් ටිකට වෙච්ච දේ එහි ආරක්සාවට ඉන්න කලුබණ්ඩාර දේවතා උන්නාන්සෙවත් දන් නෑ.

දැන්, පරණයි කියල මාරු කරපු මහකරඬුවටත් වෙන්න යන්නේ ඒ ඉරණම ම තමා. දැන් මෝඩ සිංහල බෞද්ධය මහනුවර ගිහින් රත්තරන් කිලෝ 64 කරඬුවට “අනේ සාදු සාදු” කියල පෙරළි පෙරළි වදිවී. උන්ම තමා,

‘ඒ දේවදත්ත තෙම බුදුන්ට ගල් පෙරළු සේ​ක’. යනුවෙන් පැවිදා කියද්දී …

“ අනේ සාදු, සාදු, සාදු…” කියන්නෙත්.

නන්දන වීරරත්න

13/09/26

22 views

මෙහි මුල් ලිපිය පහල දැක්වෙන Substack පිටුවෙන් කියැවිය හැකිය.