ඊයේ රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති වාර්ෂික ජනමාධ්‍ය සම්මාන උළෙල ගැන ජනමාධ්‍යකරුවන් කීපදෙනෙකුගේ අදහස් මා විසින් උපුටා පහතන් දක්වා ඇත. මට මේ සටහන් කියවීමේ දී දැණුණේ ඊයේ රාත්‍රියේ පැවැති කර්තෘ සංසදයේ සම්මාන ප්‍රදානයක් නොව රටේ වෘත්තීය ජනමාධ්‍යකරුවන්ගේ හත්දොහේ දානය හෙවත් මතක බණක් බවය. ඔබත් මේ අදහස් කියවා බලන්න.
බිඟුන් මේනක ගමගේ
කර්තෘ සංසදයේ සදාචාර අර්බුදය..
කර්තෘ සංසද සම්මාන දැන් කොළඹ පැවැත්වේ.
කර්තෘ සංසදය එය සංවිධානය කරමින් සිටියේ සදාචාර අර්බුදයක පතුළට වැටුණු පසුබිමකය.
අද පැවැත්වෙන ඊනියා සම්මාන උළෙළ වනාහි ඒ අර්බුදයේ පතුළට කර්තෘවරුන් තල්ලු කරන හුදු පාටියක් පමණි.
ගැටලුව වන්නේ කර්තෘ සංසදයේ මේ හැසිරීම සමග ඔවුන් අර්බුදයට තල්ලු කරන්නේ පුවත්පත් කලාවේදීන්ගේ මහ ගෙදර බඳුව හදා ගත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වීමය.
කර්තෘ සංසදය වනාහි පුවත්පත් ආයතනය දරා සිටින එක් කුලුනක් පමණි.
එහි අනෙක් කුලුනු වන්නේ මාධ්‍ය සංවිධාන හා හිමිකරුවෝය.
කර්තෘවරුන්ගේ සංසදය හා මාධ්‍ය සංවිධාන බෙදුම් රේඛාව වැදගත් වන්නේ මෙහිදීය.
කර්තෘවරයකුට තනතුරක් හිමිවන්නේ හාම්පුතාගෙනි.
මේ නිසාම පුටුව බේරාගැනීම පිණිස හාම්පුතාගේ සියලු මර්දනකාරී වැඩවලට ආශිර්වාද කිරීමට ඔවුන්ට සිදුවිය හැකිය. (නැත්නම් වරපත නැති වනු ඇත)
මේ කර්තෘ සංසදය අද වනවිට කොතරම් දීන තැනකට වැටීදැයි කිවහොත් හාම්පුතාගේ නොපනත්කමට එරෙහිව ලංකාවේ පුවත්පත් කර්තෘවරියක් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදීත් ඒ ගැන එක නිවේදනයක් හෝ පළ කළේ මේ සංසදය නොවේ.
ඒවා ඔවුන්ට විෂයවත් වී නැති ගානය.
මේ දුෂ්ට බලවේග අතර සම්බන්ධය තේරුම්ගැනීමට මව්බිම හා මොණරා යනු මෑතකාලීන නිදසුනකි.
මොණරා පුවත්පත් ආරම්භ කරන්නේ ආරියනන්ද දොඹගහවත්තගේ කර්තෘත්වයෙනි.
ඊට මුලින් මුදල් යෙදෙව්වේ දෙමළ ජාතික ව්‍යාපාරිකයෙකි.
මේවාට බඳවාගැනීම් කළේ ඉහළ වැටුප් දෙන බව කියමිනි.
මව්බිමේ සිටි සේවකයන් පිරිසක් ඊට යන්නේ වැඩි වැටුප්වලටය.
ඇතැම් සේවකයන් මොණරාට නොයා සිටින්නට මව්බිමෙන් ඉල්ලුවේ විශාල වැටුප් නොවේ.
රුපියල් පන්දහසේ වැඩිකිරීමකි.
එහෙත් ඊට පරිපාලනය කන් දුන්නේ නැත.
වැඩි වැටුප් ලද සේවකයන් කීප දෙනෙකුගේම සේවය අවසන් කර තිබුණෙන් රුපියල් ලක්ෂ ගණනක ඉතිරියක් තිබිණ.
පාලනයට අවශ්‍ය නම් එම මුදල් යොදා මොණරාට යන සේවකයන් ආයතනයේ තවදුරටත් තබාගන්නට තිබිණ.
එහෙත් ආයතනය දිගින් දිගටම කළේ සේවක පොකුර ස්වාභාවිකවම කප්පාදුවන්නට ඉඩ හැරීමය.
මොණරාට ගිය ඇතැම් සේවකයන් ඊට එකතුවුණේම අවුරුද්දක් දිව්වොත් ඒ මුදල අරන් ගෙදර යනවාය යන සිතුවිල්ලෙනි.
මේ පරාභව සංස්කෘතිය කර්තෘ සංසදය නොදන්නවා නොවේ.
එහෙත් කර්තෘ සංසදය එය දැන දැනම එය නඩත්තු කරමින් සිටියේය.
ඉන්පසු මොණරා වසාදමන තැනට පැමිණිවිට කළේ එහි සේවකයන් ලැයිස්තුගත කර පාරට වැට්ටවීමය.
රන මොණරා යනු ඊට දේශපාලනිකව ගැසූ නව ත්‍රාඩ වෙස්මුහුණක් පමණි.
ඒ මල් වට්ටියට ද අත ගැසීමට දොඹගහවත්ත සූරීන් පැකිලුණේ නැත්තේ ඇයි?
කර්තෘවරුන්ගේ අද දවසේ භූමිකාව වනාහි ජනමාධ්‍ය නමැති විෂයට වගකීමක් නැති තවත් වසරක හෝ දෙකක ගතමන්ට් ව්‍යාපෘතියක් නිසාය.
ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යයනාංශවල හා දේශපාල විද්‍යා අධ්‍යයනාංශවල දරුවන් අධ්‍යයනය කළයුත්තේ පර්යේෂණ කළයුත්තේ මේ කෙරුවාවන් ගැනය.
ඒවාට පර්යේෂණ අදහස් දීමට කතිකාචාර්ය ආචාර්යවරුත් පස්ස ගහති.
හේතුව මේ සියල්ල එක මල්ලේ ලුණු කෑමය.
කර්තෘ පුටුව උදුරාගැනීමට හාම්පුතාට හැකි වුවද මාධ්‍යවේදී වරපත උදුරාගන්නට හාම්පුතාට නොහැකිය.
මාධ්‍ය සංවිධාන සිටින්නේ ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්නටය.
ඉතින් අද දවසේ මාධ්‍ය සංවිධාන නායකයන් මේ උළෙලේ කරන්නේ කුමක්ද?
ලංකාවේ සියලු මාධ්‍යවේදීන් දෑස් දල්වා බලා සිටිය යුතු දිනයකි අද.
සිලෝන් නිව්ස්පේපර්ස් සේවක එකමුතුව වෙනුවෙන්
බිඟුන් මේනක ගමගේ
ජී. බී. හේරත්
කතෘ සංසදයේ කෙරුවාව ගැන නම් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියන්න තරම් කරුණු තියෙනවා.
පළමුව කිවයුත්තේ කතෘ සංසදය කල්ලියක ව්‍යාපෘතියක් මිස කතෘවරුන්ගේ සංසදයක් නොවන බවයි. ඊට දිය හැකි හොඳම නිදසුන චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති
සමයේ සන්ඩේ ලීඩර් පුවත්පතට සහ ඉරිදා පෙරමුණට සීල් තිබ්බාම ඔය කතෘ සංසදය ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා තබා නිවේදනයක් වත් නිකුත් නොකිරීම යි. එය එසේ කළේ එහි ඇතැමුන් සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහත්මයා සමඟ පැවැති පෞද්ගලික කෝන්තර නිසයි.
ඔය සම්මාන උලෙළත් කතෘ සංසදය ආරම්භයේ සිට ම අන්ත දූෂිත යි. දිය යුතු බොහෝ දෙනාට සම්මාන දුන්නේ නෑ. ඇතැම් කතෘවරුන්ගේ, හාම්පුතුන්ගේ සහ දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ඉටු කළ ඇතැමුන්ට සම්මාන දුන්නේ පිට පිට. සම්මාන දුන් මිනුම් දඬු ඒ තරම් පටු යි. මේ ඇතැම් දේවල් ගැන අතුල අයියා (වික්ටර් අයිවන් මහත්මයා) විවෘත අවකාශයේම ප්‍රශ්න කරලත් තියෙනවා. එතුමගේ “පෑන අහිංසක නෑ” කෘතියෙහි ඒ ගැන ලියලත් තියෙනවා.
ඔය කතෘ සංසදය විසින් වරක් මාධ්‍යයවේදීන් සදහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කළා. ඒක සකස් කරන්න දායක වෙච්ච ඇතැම් කතෘවරුන් ම ඒ ආචාර ධර්ම පද්ධතියට පටහැනිව, ඒ ආචාර ධර්ම පද්ධතිය බල්ලට දාලා තම පුවත්පත් වල ප්රවෘත්ති සහ විශේෂාංග මෙන්ම කොලම් පළ කළා.
තව එක කාරණයක් විතරක් කියන්නම්. ඔබත් මාත් ඉතා හොඳින් දන්නා කතෘවරයකු තම සගයන්ට කිව්වේ “මාධ්‍යවේදීන් රත්තරන් ගොඩක් උඩ නිදාගෙන ඉන්න බල්ලන් වගේ” බවයි. බල්ලාට රත්තරන් වල වටිනාකම තේරෙන්නේ නැතුවා වගේම ඇතැම් මාධ්‍යයවේදීන්ට තමන් නිරත මාධ්‍යය වල වටිනාකම නොතේරෙන බවයි ඔහු කිව්වේ.
ඒ නිසා තමා නිරත මාධ්‍යය හැකි තරම් අවභාවිත කරමින් මුදල් ඉපයිය යුතු බවට නිතර ජප කළ ඔහු ප්රවෘත්ති, ලිපි, කොලම් යනාදිය තම පත්තරේ පළ කර දීමට නිර්ලජ්ජී ලෙස මුදල් අය කළා. තමන්ගේ දරුවන් දේවාලවල බස්නායක නිලමෙලා කරන්න පත්තරයත් සමාගමේ වෙනත් දේපළත් අවභාවිත කළා. නිවැරැදි මිනිසුන්ට මඩ ගැහුවා. හිරිහැර කළා.
ඔහුගේ ඒ මජර වැඩ ගැන සාක්ෂි සහිතව හාම්පුතා දැනුවත් කළත් හාම්පුතා ඒ ජරා පප්පාට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නෑ. තමන්ගේ කොන්ත්‍රාත් ඉටුකර දෙන නිසා හාම්පුතා නිහඬව සිටියා. තම ව්‍යාපාරික සහ දේශපාලන කොන්ත්‍රාත් ඉටුකරන ඇතැම් මාධ්‍යයකරුවන්ට ආයතනයෙන් මාසිකව දෙන වැටුපට අමතරව ඒ හාම්පුතා තමන්ගේ අතින් ඒ කොන්ත්‍රාත්කාරයන්ට මාස් පතා වෙනම වැටුපකුත් දුන්නා.
මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ එක කතෘවරයෙක් ව්‍යාපාරිකයන්ට රජයේ ආයතනවල විවිධ කොන්ත්‍රාත් අරන් දීලා ඒ ව්‍යාපාරිකයන්ගෙන් සංතෝසම් ගත්තා. මහින්ද ඒ බව දැනගෙන හිටියා. ඒ කතෘවරයා ඈතින් එනවා දකිනකොට මහින්ද කිව්වේ “ආන් මුදලාලි එනවා” කියලයි. ඒ තරමට පිරිහුණු කතෘවරුන් ඉන්නවා. ඒ සමහරු අදටත් ඔය සංසදයේ ඉන්නවා.
ඉතින් ඔන්න ඔහොමයි ලංකාවේ ඇතැම් කතෘවරුන්ගේ සහ ඇතැම් පත්තර හාම්පුතුන්ගේ කෙරුවාව. එවැනි අයගෙන් යුක්තිය සහ සාධාරණය බලාපොරොත්තු වෙන්න එපා මලයා. මම නම් කියන්නේ සහ හිතන්නේ ඉගෙන ගත්ත කිසිවකු ජනමාධ්‍යවේදය නොකළ යුතු බවයි. හේතුව ජනමාධ්‍යවේදය මෙලොව අධ්‍යාපන සුදුසුකමක් නැතුව කළ හැකි රැකියාවක්ව පවතින නිසයි. එවැනි අයට ඉහළින් වැජඹෙන්න පුළුවන් එකම වෘත්තිය එය නිසයි. මෙලොව අධ්‍යාපනයක් නැති අයට ලංකාවේ කළ හැකි අනෙක් රැකියාව දේශපාලනය යි.
උගුරට හොරා බෙහෙත් කන්නේ නැතුව තව එක දෙයක් කියන්නම්. මම දැන් නිදහසේ මෙහෙම කියන්නේ ගෙදරට වෙලා ඉන්න නිසයි. මම දැනටත් යම් ආයතනයක සේවය කළා නම් මට මේ ටික කියන්න බැරි වෙනවා. හේතුව කතෘවරුන් සහ හාම්පුතුන් එකතු වෙලා රිදවන සහ පළිගන්න නිසයි. හිරිහැර කරන නිසයි. මං මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් මතයි.
චන්දන සිරිමල්වත්ත
රාජපක්ෂ පාලනය කාලෙ, ලංකා පත්තරේට මර්දනකාරී අභියෝග එල්ල වෙද්දි, ‘ලංකා පත්තරේ කර්තෘ, කර්තෘ සංසදයට එකතු කරමු’ කියලා යෝජනා කරන්න එක්තරා ප්රමුඛ පුවත්පතක කර්තෘවරයෙක් සූදානම් වුණා. ඒ යම් සද්භාවයකින් කියලා හිතනවා. නමුත්, කර්තෘ සංසදය කියන එකතුවේ සංයුතිය සහ ඒකෙ දේශපාලන භූමිකාව නොදැන කී ඒ අදහස මම වැඩිය ගණන් ගත්තෙ නෑ.
පොදුවේ පත්තර කන්තෝරුවල වෘත්තීය අයිතිවාසිකම්වලට කර්තෘලා මැදිහත් වෙන්නෙ හාම්පුතාගෙ නියෝජනයක් විදියට. ඒ නිසා ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්න එපා.
සකස් කළේ නන්දන වීරරත්න
11/11/26
මෙහි මුල් ලිපිය පහල දැක්වෙන Substack පිටුවෙන් කියැවිය හැකිය.











