METRO බස් රථ මිලදී ගැනීම පිලිබඳ ගැටළු මතුවූ තැන් කිහිපයක්.
මේ දිනවල කඩවත – මාකුඹුර මාර්ගයේ දිවෙන අලුත් මෙට්‍රෝ බස් දැකීමට ප්‍රිය ජනක දසුනකි. සෙනග අඩු වෙලාවකදී එයින් ගමනක් යද්දී ගමනේ සුව පහසුවත්, මගීන්ට උදව් කිරීමට සැදී පැහැදී සිටින සේවක මහතුනුත්, නවීන තාක්ෂණය යොදාගෙන ඇති ආකාරයත් රට දියුණු වෙමින් පවතින්නේය යන හැගීමක් සිතට දනවයි. පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කරමින් දැනට (2026 අගෝස්තු) දිවෙන බස් 10 ක බල ඇණිය තව මාසයක්, දෙකක් ඇතුලත බස් 122 දක්වාත්, කොළඹ නගරය සහ තදාසන්න නව ගමනාන්ත ඇතුලත් කෙරෙන නාගරික ප්‍රවාහන පද්ධතියක් ලෙසත් පුළුල් වීමට නියමිතය. මෙය සත්තකින්ම නගරයේ සහ රටේ මුහුණුවර වෙනස් කර පොහොසත් රටක පෙනුමක් ලබාගැනීමට මහත් රුකුලක් වනු ඇත. පොරොන්දු ප්‍රකාරව ලස්සන ජීවිතයක් ද එයින් පසුව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.
අප දැනටමත් දන්නා පරිදි Lanka Metro Transit පුද්ගලික සමාගම මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ රජයේ ජාතික අයවැය ප්‍රතිපාදන සහ Clean Sri Lanka වැඩසටහන යටතේය. මුල් බස් 10 Clean Sri Lanka විසින් මිලදී ගෙන LMT සමාගමට පවරා දී ඇති අතර ඊළඟ බස් 100, 2025 වසරේ මධ්‍යම රජයේ අයවැය ප්‍රතිපාදන මගින් වෙන්කළ මුදලින්ද, බස් 4ක් අතරමැදියාගෙ ප්‍රදානයක් වශයෙන්ද, තවත් බස් 8ක් ජපානයෙන් ලැබෙන තෑග්ගක් ලෙසද කියවේ. ඉහත සඳහන් බස් රථ දැනටමත් ලංකාවට ලඟාවී ඇති අතර තව බස් 50ක් ඇනවුම් කිරීමට දැනටමත් කැබිනට් අනුමැතිය ලබා ගෙන අවසන්ය. මෙලෙසින් බස් රථ 600ක් දක්වා මිලදී ගැනීමට ප්‍රතිපාදන ඉල්ලා තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කියවී තිබේ.
අපට සිතෙන ආකාරයට, මිලියන සංඛ්‍යාත මගී ජනතාවගේ දෛනික ජීවිතය හා බද්ධ වූ දැනට පවතින ඛේදවාචකමය තත්වය හැකි ඉක්මනින් හොඳ අතට හැරවීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ LMT සමාගම නව මෙට්‍රෝ බස් රථ ඇනවුම් කිරීම ඉතා සීඝ්රයෙන් සිදු කරමින් පවතී. මෙය සාධනීය තත්වයක් බව ඉඳුරාම කිවහැකිය. නමුත් මේ ඉක්මන නිසා යම් ආකාරයක අතපසුවීම් සිදුවේදැයි විමසිල්ලෙන් සිටීම සියලුම පුරවැසියන්ගේ වගකීමකි, මන්ද යත් මෙහිදී වියදම් කෙරෙන්නේ කොළඹ ජනතාවගේ මුදල් පමණක් හෝ මෙට්‍රෝ බස් මගීන්ගේ මුදල් පමණක් හෝ නොව මුළු රටටම අයිති ධනයක් බැවිනි, මැද පෙරදිග දුක් විඳින අපේ ජනතාව අමාරුවෙන් උපයා එවන විදේශ විනිමය බැවිනි.
මේ පූර්විකාව ගෙන එන්නේ අප හමුවේ ඇතිවී ඇති ප්‍රශ්න කීපයක් සඳහා දන්නා අයෙකුගෙන් පිළිතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙනි. ප්‍රධානම කරුණ මේ දක්වා මිලදී ගෙන ඇති බස් රථ ඇණියේ මිල සම්භන්දයෙනි.
මේ අතිවිශාල මිලදී ගැනීම පිළිබඳව නොපැහැදිලි තැන්:
a)
මෙම මිලදී ගැනීම පිළිබඳව නැගෙන ප්‍රධානම ප්‍රශ්නයනම් , බස් රථ 10ක් සඳහා වූ පළමු ටෙන්ඩරයෙන් මාස දෙකකට පමණ පසුව කැඳවූ දෙවන ටෙන්ඩරයෙදී එකම සැපයුම්කරු එකම බස් රථ මාදිලිය සඳහා ආසන්න වශයෙන් රු.මිලියන 8ක් එක බස් රථයක් සඳහා වැඩිපුර මිල ඉදිරිපත් කිරීමයි. දෙවන ඇනවුම වූ බස් රථ 100 සලකා බැලීමේදී මෙය රු. ලක්ෂ 8000 (aprox) ක පරතරයකි. මාස තුනකට අඩු කාලයක් තුල මේ සා විශාල මිල වැඩිවීමක් වීමට හේතුවක් ප්‍රවාහන අමාත්‍යාංශය ඉල්ලා සිටියාද යන්න පැහැදිලි නැත. මේ ටෙන්ඩර දෙකම සඳහා ලංසු තැබූ අනෙක් සැපයුම් කරුවන්ගේ මිල ගණන් වල මෙවැනි විශාල පරතරයක් නොමැති බවත්, FOTON සැපයුම්කරු දෙවනුව ඉදිරිපත්කල මිල, වෙළඳපොළේ වැඩි පිළිගැනීමක් ඇති අනෙකුත් සන්නාම ඉදිරිපත් කල මිල ගණන් හා සැසදීමේදී වෙනස් වූයේ යාන්තමින් බවත් කියැවේ.
බස් රථ 10ක් වූ පළමු තොගයේ බස් රථයක මිල රු. මිලියන 34ක් (aprox ) වූ විට, එම බස් රථයම මාස තුනක් ඇතුලත රු. මිලියන 42ක් (aprox ) දක්වා මිලියන 8කින් ඉහල ගියේ ඇයි, විශේෂයෙන්ම මිලදී ගන්නා ප්‍රමාණය දස ගුණයකින් වැඩිවෙද්දී එම සැපයුම්කරු විසින්ම 23%කින් මිල ඉහල දැම්මේ මන්ද?
b)
පළමු බස් 10 සේවාවන් ඇරඹ මසක් පමණක් වන අතර, දෙවන ඇනවුමේ බස් 100 තවමත් ධාවනයට තවමත් යොදානොගත් තත්ත්වක් යටතේ, එනම් මෙම අලුත්ම බස් රථ මෙරට තුල ධාවනය ගැන නිසි ආකාර තක්සේරුවක් ලැබීමටත් පෙර ප්‍රවාහන අමාත්‍යංශය තවත් බස් 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. ශ්‍රී ලාංකික තත්ව යටතේ නිසි ප්‍රායෝගික ඇගයීමක් කෙරෙන්නට පෙර මෙලෙස රුපියල් බිලියන ගණනින් වූ අතිවිශාල හදිසි ඇනවුම් සිදු කිරීමට වගකීම ගත්තේ කවුරුන්දැයි දැන ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාවක් තිබිය යුතුය.
වසර පහකට පසුවත් මෙම බස් රථ ඇණියේ සේවය අද ප්‍රකාශ කරන පරිදිම ජනතාවට ලැබෙන්නේ නම්, නඩත්තු වියදම් අපේක්ෂිත සීමාවන් තුල පවතින්නේ නම්, සමාගම ලාභ උපයන්නේ නම් මෙවන් නිර්භීත තීරණ ගත් පුද්ගලයින් එදාට රටේ ගෞරවයට පාත්‍ර කල හැකිවන්නේ එවිටය.
c)
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ තුන්වැන තොගය වන බස් 50ක මිලදී ගැනීම අළුත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෙර සැපයුම්කරුටම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ප්‍රවාහන අමාත්‍යංශය විසින් කැබිනෙට්ටුවෙන් ඉල්ලා සිටීමයි. මෙයට හේතුව පැහැදිලි කිරීමක් මේ දක්වා ජනතාවට ලැබී නැත. නඩත්තු කිරීමේ පහසුව සඳහා එකම මොඩලයක බස් රථ ඇණියක අවශ්‍යතාව තිබේනම්, තුන්වන ටෙන්ඩරය එම වර්ගය සහ මාදිලිය සඳහා විශේෂිත කර කැඳවිය යුතුව තිබුණි. බස් රථ මොඩලය වෙනුවට සැපයුම්කරු විශේෂිත කිරීමෙන් රාජ්‍ය මිලදී ගැනීම් පටිපාටිය බිඳ දැමීමක් මෙහි දැකිය හැකිය.
අනෙක් අතට මේ තර්කය අනුව මෙට්‍රෝ සමාගමට සදාකල්හිම මිලදී ගැනීමට සිදුවනුයේ FOTON බස් රථ පමණකි. මේ අනුව, මෙම කාණ්ඩයටම අයත් වෙනත් සන්නාම වන Yutong, King Long වැනි ශ්‍රී ලංකා මාර්ගයන්හි දැනටමත් සාර්ථකව අත්හදා බලා ඇති සහ කල් පැවතීම, ඉන්ධන පිරිමැසීම අතින් ඉදිරියෙන් ඇතැයි පිළිගැනෙන බස් රථ වර්ගයන්ට මෙට්‍රෝ සමාගමේ ඉඩක් ලැබීම සිදුවේදැයි අපැහැදිලිය. මෙයටම අදාළ තවත් කාරණයක් නම්, මෙම සැපයුම්කරු FOTON බස් රථ සඳහා ලංකාවේ ඒජන්තවරයා වශයෙන් වසර 15කට අධික කාලයක් කටයුතු කර ඇතත් ශ්‍රීලංගම හෝ පෞද්ගලික සමාගම් මෙම FOTON බස් රථ වර්ගය සාර්ථකව යොදාගත් අවස්ථා අපට දක්නට නොලැබෙන බවය. ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයට සම්භන්ද අය මෙයට හේතුව දන්නවා ඇත.
d)
Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ගෙන්වන බස් රථ සඳහා Euro IV (යුරෝ 4) ඛාණ්ඩයේ එන්ජින් ඉල්ලා සිටීමම විහිළුවකි. යුරෝපය පමණක් නොව ඉන්දියාවත් සමහර අෆ්රිකානු රටවලුත් පාරිසරික හේතුන් මත Euro IV එන්ජින් ආනයනය කිරීම තහනම් කර යම් කාලයක් ගතවී තිබියදී, අධික වාහන තදබදයක් පවතින කොළඹ අවට ධාවනය සඳහා හානිකර වායු විමෝචනය ඇති එන්ජිමක් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටීම ගැටළු සහගතය. ලෝකයේ දැනට පවතින සම්මතය Euro VI (යුරෝ 6) වෙද්දී, ජනතා සුභ සිද්ධිය පතන ආයතනයක් අඩුම තරමින් Euro V ඛාණ්ඩයේ එන්ජින්වත් යොදා ගැනීමට වග බලා ගත යුතුව තිබුණි. මනුෂ්‍යයන්ට අහිතකර වායු විමෝචනය සැලකීමේදී Euro IV සහ Euro V එන්ජින් අතර විශාල වෙනසක් තිබෙන බව කිව යුතුය. වසර කිහිපයකින් කොළඹ වායු දූෂණ මාපාංක ජාතන්තර සීමාවන් පසුකර ගියහොත් අනිකුත් පරණ ඩීසල් වාහන සමග මෙවැනි මෙට්‍රෝ බස් ද කොළඹින් ඉවත් කිරීමට සිදුවීමද වියහැක්කක් බව සිත තබා ගත යුතුය.
විවෘත වෙළඳ පොළේ තව දුරටත් විකිණිය නොහැකි Euro IV එන්ජින් වැනි යල් පැනගිය තාක්ෂනය, චීන වාහන නිෂ්පාදකයන් විසින් ඉතා අඩු මිලට අෆ්රිකානු රටවලට ප්රපාතනය (dump) කරන බව නොරහසකි. ලංකාවත් එවැනි මට්ටමකට ඇදවැටී ඇතැයි අපි බලාපොරොත්තු නොවෙමු.
e)
මෙම බස් රථ 100 සඳහා වූ LKT Ref No: 125772657 ටෙන්ඩරයේ මිල ගණන් කැඳවා තිබුනේ මාදිලි දෙකක රථ සඳහාය.
30-32 Seats for Regular Stop Services (Bus Type 1) රථ 60ක්
40-42 Seats for Limited Stop Services (Bus Type 2) රථ 40ක්
වශයෙනි. මෙහි දෙවන මාදිලිය පසුව
38-42 Seats for Limited Stop Services (Bus Type 2) රථ 40ක් ලෙස සංශෝදනය කරන ලදී.
මෙම සංශෝදනයට හේතුව පැහැදිලි කොට ඇති තැනක් සොයාගත නොහැකි විය. කෙසේවෙතත් අවසානයේදී මිලදීගෙන ඇත්තේ එකම මාදිලියක බස් රථ 100ක් බව කියැවේ. අමාත්‍යංශය මෙම හදිසි තීරණයට එළඹුනේ කවුරුන් විසින්, කවදා සිදු කල කුමන ආකාරයේ කරුණු දැක්වීමකින් පසුවද යන්න කුතුහලය දනවයි. ටෙන්ඩරය සංශෝදනය කෙරුනේ ගැනුම්කරුගේ අවශ්‍යතාවයන් වෙනස් වීමෙන්ද නැතිනම් සැපයුම් කල හැකි භාණ්ඩ වලට ගැලපීමටද යන සැකය මෙහිදී පැන නගී. (_1)
මේවාට අමතරව, ඉන්ධන ලීටරයකින් ධාවනය කරන දුර ප්‍රමාණ සංසන්දනය, ඉක්මනින් උපාංග සැපයීමේ වගකීම, උපාංග, අමතර කොටස් සහ පසු සේවාවන්ගේ මිල ගණන් වැනි අංශ පුළුල් ලෙස සහ දිගු කාලීන බලපෑම සලකා බලමින් කේවල් කිරීමක් සිදු වූ බවක් නොපෙනේ. නොමිලේ ලැබිය යුතු බස් රථ ගැන සිදුවුනා යැයි කියවෙන සාකච්ඡා වලදී මෙවැනි කරුණු අරඹයා කේවල් කිරීමක් සිදුවුනානම් රුපියල් මිලියන 168ට වඩා ලොකු ඉතුරුවක් සිදුවිය හැකිව තිබුණි. මේ වැනි කරුණු පැහැදිලි කරගැනීම සඳහා උදව් විය හැකි, සැපයුම්කරු තෝරාගැනීමෙන් පසු (ටෙන්ඩර ප්‍රදානයට පෙර සහ පසුව) සිදුවූ සාකච්ඡාවන්හි වාර්තා අමාත්‍යංශය සතුව තිබේ යයි බලාපොරොතු වෙමු.
අදාළ මිලදී ගැනීම් සම්භන්ධයෙන් මෙම ලිපිය සැකසීමේදී උපයෝගී කරගත් අන්තර්ජාල පොදු අවකාශයේ දක්නට ලැබෙන දත්ත සමහරක් පහත දැක්වේ. මේවායේ නිවැරදි කිරීම් කල යුතුනම් කරුණාකර ([email protected]) විද්‍යුත් ලිපිනය හරහා හෝ කොමෙන්ටුවක් මගින් අපව දැනුවත් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
1) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මිලදී ගැනීම (පළමු බස් රථ 10):
procurement number: SLTB/TS/GEN/50/2025 යටතේ 2025 ජුනි මාසයේ සිට 2025 ජූලි 23 දක්වා කැඳවා තිබූ ටෙන්ඩරය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පතුල පහත්, පහසුවෙන් රෝද පුටු ඇතුලට ගැනීමට හැකි , නගර අභ්‍යන්තර සේවයට විශේෂයෙන් නිපදවූ (City Metro), වායු සමනය කල මගී බස් රථ 10ක් සඳහා මිල ගණන් කැඳවා තිබුණි. මෙහි අනුග්‍රාහකත්වය Clean Sri Lanka ව්‍යාපෘතිය විසින් බවද පළකරන ලදී. (_2)
First 10 buses:
Procurement authority Sri Lanka Transport Board
Subsequent operator Lanka Metro Transit
Procurement no. SLTB/TS/GEN/50/2025
Quantity 10
Type New AC low-floor buses
Accessibility Facilities for persons with disabilities
Programme Acquiring 10 new Low floor busses with facilities for persons with disabilities for Sri Lanka Transport Board under Clean Sri Lanka
Tender published 27 June 2025
Bid closing 23 July 2025
Manufacturer FOTON International Corporation, China
Base Model BJ6129C
Arrival March 2026
Registration 19 March 2026
මෙම බස් රථ ඇණිය මෙහෙයවීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව නැති බැවින් මෙම බස් රථ පාවිච්චිය සහ නඩත්තුව සඳහා Lanka Metro Transit පුද්ගලික සමාගම වෙත පවරා දෙන මෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2026 පෙබරවාරි 09 වැනිදින කැබිනට් පත්‍රිකාවක් අනුමත කරවාගෙන ඇත. මේ අනුව LMT සමාගම විසින් දැනට (2026 අගෝස්තු) ධාවනය කරනු ලබන බස් රථ 10, procurement number: SLTB/TS/GEN/50/2025 යටතේ මිලදී ගනු ලැබූ ඒවා යයි අපට තේරුම්ගත හැකිය.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් LKT Ref No: 121671298 ටෙන්ඩරය බස් රථ 10ක් එකක් රු. මිලියන 34 (aprox) බැගින් මිලදී ගැනීම සඳහා තෝරාගත් සැපයුම්කරුට ප්රදානය කොට ඇත.
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ Public Investment Programme 2026–2030 යටතේද මෙම මිලදී ගැනීමේ වියදම ස්ථිර කොට ඇත. “Acquiring 10 new Low floor busses with facilities for persons with disabilities for Sri Lanka Transport Board under Clean Sri Lanka”. මෙම ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල ලෙස රුපියල් මිලියන 340 ක් දක්වා ඇත. (_3)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2026-2028 ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ලැයිස්තුව යටතේද මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කළ මුදල ලෙස රු. මිලියන 340ක් දක්වා ඇත. (_4)
මේ අනුව පළමු මිලදී ගැනීමේදී එක් බස් රථයක උපරිම මිල රු. මිලියන 34 (aprox) බැගින් බස් රථ 10 ක් ලෙස මෙතනදීද තහවුරු වේ.
2) Lanka Metro Transit පුද්ගලික සමාගම මඟින් මිලදී ගැනීම (බස් රථ 100):
procurement number MT/04/09/05/CT/569 යටතේ 2025.09.04 දක්වා කැඳවා තිබූ LKT Ref No:125772657 ටෙන්ඩරය යටතේ LMT පුද්ගලික සමාගම විසින් පතුල පහත්, නගර අභ්‍යන්තර සේවයට විශේෂයෙන් නිපදවූ (City Metro), වායු සමනය කල මගී බස් රථ 100 ක් සඳහා මිල ගණන් කැඳවා තිබුණි. (_5) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය 18 May 2026 දින හෝ ඊට ආසන්න දිනයකදී ටෙන්ඩරය දිනූ සැපයුම් කරු සමග ගිවිසුමකට එළඹෙන ලදී.
Second lot 100 buses:
Procurement authority Lanka Metro Transit Pvt Ltd
Subsequent operator Lanka Metro Transit Pvt Ltd
Procurement no. MT/04/09/05/CT/569
Quantity 100
Type New AC low-floor buses
Accessibility Low Floor
Programme Procurement of 100 Low Floor Buses for public transport modernization
Tender published on: n/a
Bid closing 04 Sep 2025 or 17 Oct 2025
post-award financial documentation has not been publicised.
Manufacturer FOTON International Corporation, China
Base Model BJ6129C
Arrival 29 July 2026
Registration Aug 2026
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2026-2028 ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ලැයිස්තුව යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කළ මුදල ලෙස රු. මිලියන 3000 + 1700 = 4700 ක් දක්වා ඇත. (_4) මෙයින් රු.මිලියන 4200 ක් බස් රථ මිලදී ගැනීම සඳහාත් ඉතිරිය අලුතින් අවශ්‍ය වන යටිතල පහසුකම් ඇති කිරීමටත් යනුවෙන් සඳහන් වේ.
ටෙන්ඩර ප්රදානය කිරීමේ ලියවිල්ල පොදු අවකාශයේ සොයා ගැනීමට නැති පසුබිමක් තුල, ඉහත ලේඛන අනුවත්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රසිද්ධියේ සිදු කල ප්රකාශයන්ට අනුවත් (-6) මෙම තොගයේ බස් රථයක මිල රු. මිලියන 42ක් (aprox) වූ බවට නිගමනය කල හැකිය.
3) Lanka Metro Transit පුද්ගලික සමාගම මඟින් මිලදී ගැනීම (බස් රථ 50):
2026-08-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම
– මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය යටතේ අදාළ සැපයුම්කරු විසින් එම බස්රථ මේ වන විට මෙරටට ආනයනය කරනු ලැබ ඇත. මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස උපායමාර්ගික වැදගත්කම සහ කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ රජයේ අරමුණු සැලකිල්ලට ගනිමින් මෙට්‍රො බස්රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. ඒ සඳහා මෙට්‍රො බස් රථ ඇණියේ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2026-03-06 දින බස් රථ 100ක් මිල දී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. (_7)
මිලියන ගණනාවක් වූ බස් මගීන්ගේ වර්තමාන දුක්ඛිත ඉරණම ගැන බැලීමේදී මේ වියදම් කරන මුදලට අනුව ඔවුන්ගේ ගමනාගමනය පහසු අතට හැරෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. දහවලදී ජනතාව පෞද්ගලික බස් රථවල දැඩි තරඟකාරීත්වයට සහ අනුකම්පා විරහිත බස් සේවකයන්ගේ බලපෑම් යටතේ ඉතා අපහසු අත්දැකීමක් විඳින බවත්, රාත්රියේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුකම්පාව මත ගෙදර යාම තීරණය වෙන බවත් බස්වල යන අය දනිති. රට පුරාම පවතින තත්වය නම් රාත්‍රී බසයක් බලාපොරොත්තු වීමේ අවදානම ගන්නා මගියෙකුගේ ඉරණමත්, සීසන් එක පිළිගන්නා බසයක් එන තෙක් ඉන්නා පාසල් සිසුවෙකුගේ ඉරණමත් ඉතා අවිනිශ්චිත බවය. රජය වියදම් කර ඇති සහ වියදම් කිරීමට සැලසුම් කර ඇති අති විශාල ධනස්කන්දය මේ තත්වය වෙනස් කිරීමේ ඉක්මන් පියවරක් වන්නේ නම් එය ඉතා ප්‍රශස්තය.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි


















හොඳ ලිපියක් . මෙහි පලවී ඇති දත්ත පිළිබඳව ඔබ හට සනාථ කිරීමට සාධක ඇති යයි මා විශ්වාස කරනවා
මේ ලිපිය ඉතාමත් අනර්ඝය. කරුණු කාරණා එක්රැස් කර, සාධාරණ තර්ක මත සම්පිණ්ඩනය කර ඇති අපක්ෂපාතී ලියවිල්ලකි. ආණ්ඩුවේ අදාළ මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානයට යොමු කළ යුතුම කරුණු දැක්වීමකි. අප සාමූහිකයෙ ඉන්නා අදාල සාමාජිකයින ඒ සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. 🤝
කොහොමද හලෝ මේක සාධාරණ අපක්ෂපාතී ලියවිල්ලක් වෙන්නෙ ? ආණ්ඩුවට මඩ ගහන්න ලියපු හෙන ගහන බොරු නේ මේකෙ තියෙන්නේ.
මේ මිල වැඩිවීම ඩොලරයේ අගය නිසා ද ? ඩොලර් මිලත් වැඩිවෙලාද? රු 300 ඉද 340 දක්වා වූ වැඩිවීම නිසා මිලියන 10 වැසිවූවා නොවේද?
මේ ගැන තොරතුරු ඔබ ලග තිබේද? මා මේ හේතුව කියන්නෙ මෑතක ලංකාවට ගේන යන්ත්‍ර වල ගනන් වැඩිවීම විශාල ලෙස බලපෑ බවයි.
Sri
Between two dates of bid closings, (Jul 2025 and Sep 2025) dollar had gone up from Rs. 301 to Rs. 305. Not a significant difference, certainly not enough to cause a 23% increase.