Nanada-Malini

විශාරද නන්දා මාලිනියනි , ඔබට සුභ ගමන් !

විශාරද නන්දා මාලිනියගේ මම කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි. නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු ගීතය තමා –

කියන එක .

මේ ගීතය 1971 දී තහනමකට ලක් වුනාලු . නමුත් පොඩි කාලේ සින්දුව අහන හැම වෙලේම අමුතු චමත්කාරයක් දැනුනු එකක් . සත්තු උඩ යනව , සූටික්කෝ උගන්වනවා පුංචි කාලේ හිතේ මැවෙන රූප . ඒක මට ළමා ගීයක් වගේ . පස්සේ කාලෙක ඇලිස් ගේ විශ්මලන්තය කියවන කොට සින්දුව ලීවේ ඒකටද කියලත් හිතුනා.

“සුදම් සභාවේ” කියන කොටස එනකොට සංගීතය ටිකක් වේගවත් වෙනවා වගේ . ඒකෙ සංගීතයට අදත් මම ප්‍රිය මනාපයි . පසුව දැන ගත්ත සකුරා මල් කියන්නේ මේ චෙරි මල් වලටමයි කියල . අපේ පුංචි ගෙවත්තේ පොඩිති චෙරි ගහක් තියනව. ඒකෙ මල් ශ්වේත වර්ණ . අපි ඉන්න පාරේ රෝසපැහැ චෙරි මල් පිපෙන ගස් රාශියක් තියනව . ඒව දිහා බලන කොට කියැවෙන්නේ මේ සින්දුව . හැබැයි ඊලඟට හිතට මැවෙන්නේ ජපානය.

ඒ ගීතය වගේම මගේ සිතේ අරක් ගත් අනිත් ගීතය ඇය නාරද දිසාසේකර සමග ගයන , ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ‘රන් මුතු දූව ‘ චිත්‍රපටයට රචනා කරපු “ගලන ගඟකි ජිවිතේ” ගීතය . ඒකෙ සංගීතය විශාරද අමරදේව මාස්ටර් ගේ. බොහොම හිමින් ගලන සින්දුවක් . ගඟක් දොළක් ළඟ ලපලු නටන කොට මතක් වෙන ගීතයක් .

තව මම නිතර අහන එකක් තමයි ‘හද විල කළඹන පෙම් ජල රේඛා ” ගීතය . පියකරු තරුණියක් හිතට මැවෙන ලස්සන ගීතයක්. ඒ සින්දුව ඒ කාලේ ගුවන් විදුලියේ නිතර යන එකක් .

අසූ ගණන් වල මුල අපට කැසට් ප්ලේයර් එකක් තිබුනේ නැහැ . අපේ ගෙවල් පැත්තේ හිටි සිරිමල් අයියා ළඟ පොඩි කැසට් ප්ලේයර් එකක් තිබ්බ . මමයි පොඩි අක්කයි ඒකෙන් නන්දා මාලිනි ගේ ‘යාත්‍රා ‘ සින්දු ටික අහනව මතකයි . ‘කුරුටු ගෑ ගී පොතේ ‘ , ‘රන් කෙන්දෙන් බැඳ’ වගේ ගීත තිබ්බේ ඒකෙ මම හිතන්නේ .

ඒ ලෙවල් කරන තරුණ කාලේ එන කොට ‘උඩඟු ලියන් ගොතා බඳින නිල වරල් සරසන්නට ‘ තමා කැමතිම ගීතය . ඒකේ මාර වචන ගොන්නක් තිබුනේ .

එහෙම තමා ඒකෙ තියෙන්නේ .

ඒ කාලේ තමා දිවයින පත්තරේ මහාචාර්ය සුචරිත ගම්ලත් දෙඤ්ඤම් බැටේ විචාරය පටන් ගන්නේ නන්දා මාලිනියට සහ ආචාර්ය සුනිල් ආරියරත්නට. “මේ සිංහල අපගේ රටයි” සින්දුවට සහ තවත් ඒවාට .

ඉතින් මේක හෙන අවුල් . මම නිතර මහාචාර්ය තුමාගේ දේශන අහන්න යන , එයාගේ ලිපි නිතර කියවන තැනක සිටි නිසා .

ඇත්තම් කියනවනම් මම ඒ සින්දුවට පට්ට ආසයි. අද වුනත් මම ඒකට කැමතියි . මුළු ලොව ඒ රටට යටයි කියල අද හිතන්නේ නැහැ තමා . මේ සිංහල අපගේ රට විතරක් කියල හිතන්නේ නැහැ තමා. ලස්සන රටවල් ලෝකයේ බොහෝ තැන්වල දැන් දැකලා තියනව . නමුත් අපි කොහේ හිටියත් අපේ පෙකණිවැල බැඳිලා තියෙන්නේ ලංකාවට . ඒක මතක් වෙන්නේ මේ වගේ සින්දු එක්ක.

හැබැයි නන්දා -සුනිල් මෙහමත් කිව්වා . “රණ දෙරණේ කඳුල සුසුම” ගීතයේ.

නැහැ . මහාචාර්ය සුචරිත ගම්ලත් නිවැරදියි . ඒ විචාරය එදත් හරි . අදත් හරි . මොකද නන්දා මාලිනිය ඉන්පසු ඔස්ට්‍රේලියාව , එංගලන්තය , කැනඩාව වගේ රටවල් සංචාරය කළානේ . ඒ නිසා දැනෙන්න ඇති හැම හෙළයෙක්ම එසේ නොවන බව .

ජෝතිපාල ඇන්ජලින් ගේ සින්දු වලට රහසින් කැමති අපිව, ටි එම් ගේ මිල්ටන් මල්ලව ආරච්චි ගේ සින්දු නිතර අහපු අපිව , නන්ද මාලිනි, අමරදේව, සොමතිලක ජයමහ, කපුගේ ආදීන් අරන් ගියේ වෙනම තලයකට .

‘පවන ‘ එනකොට මම ලංකාවේ නැහැ . ‘පවන ‘ කරන්න මේ නන්දා , සුනිල් සුසංයෝගයට හිත දුන්නේ ගම්ලත් ආදීන් ගේ විවේචන නිසාද දන්නේ නැහැ. නමුත් ඒක අමුතු ලෙවල් එකකට ගියා . අර විරිදු ලෙසින් කියන සින්දු ටික .

සුචරිත ගම්ලත්ට පිළිතුරු දුන්නේ මේ ගීතයෙන් වෙන්න පුළුවන් .

තනිකරම වෙනස් ආරයක , වෙනස් සංගීත රටාවකට ලියපු දේශාභිමානී ගීත ටිකක් . හිතන්නට පොළඹවන . අදත් මේවා වලට විවේචන ඉදිරිපත් වෙන එකෙන් හිතා ගන්න පුළුවන් . “නිදහස් බයිලා” හෙමත් ඉතින් සෑහෙන්න තර්ක විතර්ක මතු කරපු ‘බයිලාවක්”. හැබැයි බයිලා වුනත් කියන්න පුළුවන් කියල ඔප්පුත් කලා.

ඊට පස්සේ මම අහපු කැමති ගීත තිබුනා ‘සත්‍යයේ ගීතය ‘ , “නිලම්බරේ”, තාරකා ඇස් වගේ ගීත සමුච්ච වල . “ඔබේ පැල , පැලේ පිල” , “බුදු හිමියන්ටත් කලියුගයේ” , ” නිවන් දක්නා” , “උක් දඬු” , “මන්ද නාව කාරණාව” ආදිය විශිෂ්ඨ ගීත සමුච්ච. ඒ හැමදෙයක් එක්කමත් ජිවිතේ මුල් කාලේ අහපු සින්දු හිතේ කෙටිල තියෙන්නේ .

“තාරකා ඇස්” ගීත සමුච්චයේ තියෙනවා “සුමුදු සුවදෙන සිහින යහනේ ” කියල හරිම සුවදෙන ගීයක්.

පවනේ ‘නන්දා -සුනිල් ” රජෙක් ඉල්ලන්නේ ඇයිද කියා මම දන්නේ නැහැ.

කියල ඒ ගීතය ඉවර වෙන්නේ .

ඇය හුදෙක් ගායිකාවක පමණක් වුනේ නැහැ ඇය අපේ යුගයේ හඬ , පීඩිතයන්ගේ, ප්‍රේමවන්තයන්ගේ මෙන්ම නිදහස අගය කළ සෑම කෙනෙකුගේම ම හදවතේ රැව් දුන් ඒ අසමසම සදාතනික ස්වරයක් . ඇය ගයන්නේ මෙහම .

“ගලන ගඟකි ජීවිතේ” යැයි අපට කියා දුන් ඇගේ ජීවිත නදිය අද නිහඬව මහ සගරයට එකතු වුනා . නමුත් ඇය තබා ගිය ශ්‍රේෂ්ඨ සංගීත උරුමය පරම්පරා ගණනාවක් ඉදිරියටත් අපේ සිතුවිලි සුවපත් කරනු ඇත. දේහයෙන් අප අතරින් නික්ම ගියත් , ඒ මධුර හඬත්, ආත්මය අවදි කළ ගීත රාවයත් මේ හෙළ දෙරණ පවතින තාක් කිසිදිනක මිය යන්නේ නැහැ. ශ්‍රී ලාංකේය සංගීතයේ පහන් තරුව වූ ආචාර්ය නන්දා මාලිනීයනි ඔබට උපහාර

20/08/2026

අජිත් ධර්මකීර්ති