නන්දා මාලිනී භූමිකාව පිළිබඳ මගේ රචනාවට කලින් ඒ පිළිබඳ කතිකාවක්, විවේචන, ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර කියෙව්වෙමි ඇසුවෙමි. ඒවා ගැන, සංවාද ද දෙඩුවෙමි. ඒ අතර මම සිත්ගත්ම සංවාදය පැවැත්වූයේ ද්‍රවිඩ සහෝදර සහෝදරියන් සමගයි. එම සාකච්ඡාවේ කරුනු ඇසුරින් මේ රචනාව ලිවීමට අදහස් කළෙමි.
ප්‍රශ්නය: නන්දා මාලිනී කවුද? ඇගේ මෙහෙවරේ පරාසය කුමක් ද?
කෙනෙකුගේ භූමිකාව ඇය ගොඩනැගුණු වටපිටාවෙන් බැහැරව කතා කළ නොහැකියි. කවියෙන් එකී භූමිකාව ඇරඹු පහළ පීඩිත පංතියේ කවි නන්දා නම් වූ ඇය ජාතියේ යශෝරාවය යන නමින් අභිෂේක කරනු ලැබුවා. ඇයගේ සැබෑ පන්නරය ඇය පෝෂිත වූ සමාජ පංතිය අමතක නොකර, එය අබිබවා ගියා. කවි නන්දා කවුද යන ප්‍රශ්නය ට ඒ පිළිතුර ප්‍රමාණවත් නොවන නිසා මම මෙහෙම කියනවා. චිත්‍රපටි තේමා ගීත වලින් ගීත ගායනා ලොවට පිවිසි ඇයගේ ස්වරයේ සහ රිද්මයේ පැවති විශේෂත්වය නිසාම ඇය පසුබිමේ සිට රංගන ශිල්පීනියගෙ චරිතය නියොජනය වෙනුවට, ඇය ගැයු චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය ගීත ඒවායේ තේමා ගීත බවට පත්වුණා. ඇය ඒ භාවමය රාවය හිමිකර ගත්තේ සිංහල හෝ දෙමළ අපේ ජාතික උරුමයන් වූ කවියේ රිද්මය ඇය තුළ පිහිටා තිබීම නිසයි.
ඇත්ත වශයෙන්ම අපේ සංස්කෘතික අනන්‍යතාව එයට හේතු වුණා. පිටක, අටුවා සහ සාහිත්‍යය උරුමයක් සියල්ල මෙන්ම ජන සංගීතයට ද පදනම් උණේ කවියයි. කවිය සහ කවිදෙයි නියෝජනය කරන්නේ අපේ පොළොවෙනි. කවි නන්දා කවියෙන් බිහිවීම එකී අක්මුල් සහිත අනන්‍යතාව යි.
2)ඔබට නන්දා මාලිනී කව්ද?
ඇය කියන විදිහට මට ඇය මග තොටේ නිතර දකින ගැහැනිය යි. මට ඇය මුලින්ම මුණ ගැහුණේ බෙල්ලන්විල පංසල අභියස වලං කඩයක දීයි. මගේ අතේ තිබුණු ගුරු ලේත්තුව කීයදැයි විමසූ ඒ කටහඬ ආ දෙස බැලූ මට දෙනෙත් අදහා ගත නොහැකි විය. ඇය කෙතරම් ඉහළ තලයකට ගියත් ඇය කියූ කතාව ඇත්ත යි. ඇය ද අප මෙන්ම පහළ පංතියට අයත්, ජීවිතයේ දුක් කම්කටොළු සමුච්චයක් මැද දිවිගෙවූ විමුක්තිය කරා ගමන් කරන ගැහැනියක්, ගැහැනුන්ට වීර වරියක් ලෙස තමයි මම ඇය දකින්නෙ.
3) රටට – සිංහල ජනතාවට නන්දා මාලිනී කව්ද?
මම හිතන විදිහටම අපේ රටට, ලෝකයේ වෙසෙන ශ්‍රීලාංකිකයින්ට ඇය යුග මෙහෙවරක් සපිරූ වීරවරියක්. විමුක්තිකාමී ලේබලය ගැසීමට පවා මම පසුබට වන්නේ නැහැ. හැබැයි පක්ෂයක හෝ මතවාදී දෘෂ්ටිවාදී ලෙසින් බිහිවූ විප්ලවීය කාන්තාවක් නොවෙයි. එහෙම කරලා එක් පසෙකට ඇතුළු කරගැනීමට හෝ එසේ ඇතුළු කර ඇයට මඩ ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට සාධාරණ සාධක නෑ. හැබැයි රටට ඇය විප්ලවීය කලාකාරිනියක්.
ඊළඟට සිංහල ජනතාවට ඇය කවුද කියන ප්‍රශ්නය ටිකක් බැරෑරුම් විදියට ගන්න වෙනවා. සිංහල බුද්ධාගම නැමති ‘හෙජමොනික’ සංකල්පය තුළ පෝෂණය වුණු ලාංකික සමාජයට කලාවේ බලපෑම එක් එක් යුග වල ක්‍රියාත්මක වුණු ආකාරය විවිධයි. මා මෙන්ම ඇය පෝෂණය වුණේ බෞද්ධ පරිසරයක් තුළයි. ඇය ගැයූ මුල්ම ගීත කාණ්ඩය ‘සනරාමර ගුරු ලෝක තිවංකර බුද්ධ දිවාකරයානො’ කොටස බෞද්ධ පරිසරයක් තුළ පෝෂණය වුණු ඕනෑම කෙනෙක් ගේ ලොමු දැහැගැන්වෙන කොටසක්. බුදු සාදු, බුද්ධානුභාවේන සහ බුදු කරුණා කතා කරන්නේ ඇත්ත වශයෙන්ම හෙජමොනික ‘සිංහල බෞද්ධ’ සංකල්ප නොවේ. හැබැයි නන්දා මාලිනී ගැයු එම ගීත තුළ සිංහල බෞද්ධ ගතියක් ඉස්මතු වුවද, ‘ජේසු ස්වාමි දරුවනේ, බුදුනේ, ජේසුනේ’ වැනි ගීත තුළ ඒ එක පාක්ෂිකත්වය බිඳ හෙලන්න ඇය සමත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම, දැනුමෙන් පරිණත වෙද්දී ඇයගේ ගීත ගත්තේ වෙනස් මගක්. හැබැයි එහෙම වුණා කියලා නන්දා මාලිනී සිංහල ජනතාවගෙන් ඈත් වුනේ නෑ.
‘මේ සිංහල අපගෙ රටයි’ 1965 චිත්‍රපට ගීතයක්. ඒක ඇයගේ තේරීමක් නොවෙයි. පසුකාලීනව ජාතිවාදී කතිකාව තුළ ඇය ඒ ගීතය ගැයීම ප්‍රතික්ෂේප කළා. ඒත් ‘හෙළ දෙරණේ’ ඇය සිටියා. ‘තුන් හෙළේ කැලෑ වල’ කීවෙ බුද්ධිගලනය එරෙහිව, එහෙම නැතුව සිංහල අය රට හැර යාමට පමණක් නොවෙයි. ඒක කියන එක කවදාවත් නැවැත්වීමට එයා හිතුවෙ නෑ.
ඇය එරෙහි වුණා ජාති වාදයට, යටත්විජිතවාදයට සහ ලිබරල්වාදයට යන්නයි මගේ කියවීම. පුළුවන් නම් සීගිරියත් විකුණා දාන්න කීවෙ ඒකයි. හැබැයි එහෙම උණා කියලා ඇයට වාණිජ පදනමින් ඇයගෙ භුමිකාව එලියට ගන්න ඕනෙ නෑ. ඒක ඇගේ වෘත්තීය. වෘත්තීය එයා හරියට කළා.
4) එදා සිට අද දක්වා දකුණෙ රාජ්‍ය විරෝධී අරගලකරුවන්ට නන්දා මාලිනී කව්ද? ඇයගේ ගීතවලින් ඔවුන් ලබපු උත්තේජනය මොකක්ද?
මම හිතන්නේ එදා සිට අද දක්වා ඇය විප්ලවීය කලාකාරිනියක්. මිනිස්සු විප්ලව කරන්නෙ ආයුධ වලින් විතරක් නොවෙයි කියන එක ලෝකය පුරාවටම පිලිගන්නා අදහසක්. කවියො ජනරජයෙන් පන්නන්න කීවෙත් ලෝකය පුරා කවියන් සාහිත්‍යය ධරයන් සහ විශේෂයෙන්ම සංගීත ශිල්පීන් ඝාතනය වුණා, ලංකාවේත් උණා. ලංකාවේ ජන විඥානය පුරාවට ඒ විමුක්තිකාමය ගෙනියන්න පවන සමත් වුණා වගේම පවනට කලින් ඒ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ගී ගයන්න ඇය ආරම්භ කරලත් තිබුණා. ඒවා අහම්භ නොවෙයි, ඇයගෙ තේරීම. ‘පිළිම නෙලා නැති’ වැනිවලින් පටන් අරං සම්මතයට පටහැනිව ඇය ගී ගැයුවා. පිළිම නෙළා නැති ගීතය ඇය කතාකලේ සමස්ත අරගල කරුවන්ට සහ මියගිය විප්ලව කරුවන්ට. ‘බිරිඳ මගේ නුඹ’ ගීතය ගුණදාස කපුගේ එක්ක ඒ සම්මත ව්‍යාජය ඇතුළෙ තියෙන යථාර්ථය එළියට ගත්තා. ‘පවන’ ඇත්තටම පවනක් නොවෙයි දිත්වා එකක් වෙලා ගම් නියම්ගම් වලට පැතිරුණා. දර්ශන 205 ක් ප්‍රදර්ශනය කළා තහනම් වන තුරුම. ඒකෙන් තමයි ජන විඥානයට විමුක්ති කතිකාවත ගියෙ කැසට් පටයකින්. මට හිතෙන්නේ ‘ජවිපෙ කතන්දරය’ ජනතාව අතරට ගියෙ ‘පංති පහට’ වඩා ‘පවන’ තුළින් කියලයි. ඒක ඇත්ත. ඉතිං එහෙමනම් ඒක ඒ විප්ලවීය රැල්ලට රැකුලක් උනා. හැබැයි එහෙම කළ පලියට මිනීමැරුම් හෝ ඝාතන මර්ධන වල වගකීම ඇයට දෙන්න බෑ. මම කියන්නේ ඒ මොහොතේ සකස් වෙලා තිබුණු රැල්ලකටයි ඇය ආමන්ත්‍රණය කළේ.
තරුණ මර්ධන සහ ඝාතන කළේ පාලකයින්, එතකොට ඒ ඝාතකයාට විරුද්ධවත් නැවතත් ‘ඝාතකයා කවුද’ ගීතය ගැයුවා. ඇය විප්ලවීය කලා කාරිනියක්, ඇය ආර්ථික අතින් ශක්තිමත් වුනේ ඇගේ දකෂතාවයන්, ඇගේම ශ්‍රමයෙන්. අන්න ඒ ශක්තිය මත තමයි ඇය නිවහල්ව ස්වාධීනව නැගී සිටියෙ. කාටවත්, විශේෂයෙන් දේශපාලුවන්ට අත නොපා සිටීමට.
සරල ගී වලින් ඇරඹි ඇය 70 දශකයේ ආමන්ත්‍රණය කළේ මධ්‍යම පාංතික පිරිසකට. ඒක ඒ යුගයේ කලාව බෙදීම, ඇයව සබුද්ධික තලයකට හිර කිරීම කළේ, විශේෂයෙන්ම කලා විචාරකයින් සහ ඇය වටා වැට බැඳි මාධ්‍යය. මගේ තිමිර විනිවිද පොතේ මම කතා කරන්නෙ මේක. හැබැයි ඇය පහළ පංතිය වෙනුවෙන් ගී ගැයුවා, ‘පිපුණු මලේ රුව’ ‘සැඳෑ කළුවර’, දුගී භාවය තුළ ද ප්‍රේමය දළුලන බව ගැයුවා.
වාම වාදී පංති දර්ශනය අබිබවා, මිනිස්සුන්ට නොතේරුණු මාක්ස්වාදයට වඩා ඇගේ පවනේ රාවය මිනිසුන්ට ගියා සහ තේරුණා. වාමවාදීම විචාරකයො තමයි වැඩිපුර මේ ප්‍රබුද්ධ ලේබලය ගැහුවේ. ඒ ගැන වෙනම කතා කරන්න ඕනෑ.
බොබ් මාලේ හො වික්ටර් හාරා වැනි අය සමඟ ඇය සසඳන්න අවශ්‍ය නැහැ. ඇයව කියවන්න ඕනෑ අපේ සංදර්භය ඇතුළෙ. විරෝධාකල්ප අබිබවා යන කොන්දක් ඇයට තිබුණා. ඝාතකයාට එරෙහිව ගී ගැයුවා. ඇය අපට සැබෑ උරුමයන් ඉතිරි කරලා දීලා ගියා. අපට එතන ඉඳන් ගමන යන්න. කොහොම ද ගීත සහ කලාව සමාජ ප්‍රගමනයට යොදවන්නේ කියලා. ඒක අපේ වැඩක්, මට හිතෙන්නේ සාහිත්‍යය සහ කලාව ගත යුතු මාවත තීරණය කරන්නෙ අපි මිස, ආණ්ඩුව නොවෙයි කියන එකයි.
‘පිළිම නෙලා නැති’ ගීතය, අද අපි පාවිච්චි කරන්න ඕනෑ දකුණෙ නොවෙයි, විප්ලව වෙනුවෙන් දිවිදුන්න සමස්ත ලාංකිකයින් සමරන්න සහ ඒ සඳහා එක් දිනයක් එකට සමරන්න. ඒක අපි කරන්න ඕන කවදා හරි. මම හිතන්නේ පවනෙ ගීත සියල්ල ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළ යුතුයි, කවුරු හරි, එදාට රටවැසියන් ට තේරුම් යයි ඇය කවුද කියන එක.
5) ප්රචන්ඩ රාජ්‍යයන්ට ඇය අභියෝගයක් වුනා ද?
ඔව් එහෙම උණා. මම කියනවා අනුර ගේන්න අරගලය උදව් උණා වගේ ඇයගෙ මෙහෙවර චන්ද්‍රිකා එම ධුරයට ගෙන ඒමට ජවයක් ලැබුණා. එදා හැමෝම අපේක්ෂා කල වෙනස තුළ චන්ද්‍රිකා නාභිගත වෙලා තමයි එයා බලයට ආවේ. ඒකට නන්දා මාලිනීය ගේ නිර්භය පැවති ක්‍රමය විවේචනය කිරීම හේතු වුණා. හැබැයි චන්ද්‍රිකා ඒ නාභිගත කිරීම ඇතුළෙ රැස් වළල්ලක් නිර්මාණය කරගෙන ජනතාව අපේක්ෂා නොකල කක්ෂයක් හදාගෙන පරණ දෙයම කළා. ඒ ගැන නන්දා මාලිනී ට කරන්න දෙයක් නැහැ. ඇය දිගටම ස්වාධීන ස්ථාවරයක දිගටම හිටියා.
ඇය දිගටම ඝාතනයට එරෙහි උනාට, පසුකාලීන ප්‍රචණ්ඩ රාජ්‍ය කළේ ප්‍රචණ්ඩත්වය තව තවත් තහවුරු කරපු එක. පාලකයින් කළේ කලා කරුවන්ම යොදවා හෙජමොනික ජාතිවාදයක් නිර්මාණය කළා. හැබැයි ඒ කලාකරුවන් යෙදවීමේ බිල්ලට නන්දා මාලිනී හසුවුණේ නෑ. අපි දන්නවා දුටු ගැමුණු නිර්මාණය කරලා රාජපක්ෂ රෙජීමය කොයිතරම් සල්ලි විසිකළා ද ඒ ජාතිවාදී විරසකය නිර්මාණය කරන්න. යුද්ධය නිම කිරීම ගැන සතුටු වන හැමෝම ඒ සඳහා කලාව යොදා ගත් විදිහ අනුමත කරන්නේ නැහැ. නන්දා මාලිනීත් මම විශ්වාස කරනවා ඒ ස්ථාවරයේ හිටියා කියලා.
6) ඇයගේ දේශානුරාග ගී ජාතිවාදී ද?
ආගමික ගීවලින් ඇය ආරම්භ කළේ.
‘සනරාමර ගුරු ලෝක තිවංකර බුද්ධ දිවාකරයාණෝ’ කොටස. ඇය ජාතිවාදී ගැහැණියක් නොවෙයි, ඒ වගේම ඇයගෙ ඒ ස්තිර වචනය ‘පවන තාමත් වලංගුයි’ කියලා ඇයම ඒක තහවුරු කළා. ඇය තමන්ගේ පංතියට ආරාධනා කළා තමන්ගේ පංතියේ ස්වභාවය අවබෝධ කර ගන්න, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන්න ඕනෑ අපිමයි කියන කරුණ තේරුම් කරගන්න.
හැබැයි මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඇය ගීත ලීවෙ නෑ. ඇය සඳහා ගීත ලිව්වේ ගීත රචකයෙන් ප්‍රධාන වශයෙන්ම මහාචාර්ය සුනිල් ආරිරත්නයි. එහිදී මේ ගීතවල භාෂාත්මක යෙදුම් ගොඩක් තිබුනා පිලිගන්නා බැරි. යම් යම් වචන භාවිතා කිරීම්, වචනවල අර්ථ නිරූපණ කිරීම්, ගැන ප්‍රශ්න. එක උදාහරණයක් කියන්නම්, ‘මොන්ගෝලියානුවනේ’ ගීතය. කළු ජාතිකයන්ට පාවිච්චි කරන්න සාරධාර්මිකව තහනම් වචනය. ‘වරු’ දාලා තහනම් වචන පාවිච්චි කරන්න බෑනෙ. ගොන් වහන්සේ කියන්නෙ අපහාසයට. තව ප්‍රසිද්ධම එකක් තමයි අර ‘දෙමළා වුනත් උගතෙකු නං පුටුව දෙනූ’ ගීතය. තදින් විවේචනය කළා මතකයි. ඔබට මතක ඇති. ඒවා ගැන වෙනම කකා කළ යුතු යි.
ඇගේ දියණිය ප්‍රකාශ කළ ඇගේම වචන අපි දිගට ගෙනියමු. ‘උඹ වැටුනොත් මැරෙනවා, අතක් පයක් කැඩුනොත් එක්තැන් වෙනවා, හැබැයි උඹ තීරණය කරගනින් උඹේ පරිස්සම’
සිංදු වල නැති ඇගේ මව්වත් කම. ‘උඹ විභාගෙ ෆේල් උනොත් කඩයක් දාලා දෙන්නම්’ එච්චරයි.
ඒවා රත්තරං ඔවදන්.
මම නන්දා මාලිනී ගේ දිවිය ‘කවියෙන්’ පටන් ගෙන ජාතියේ යශෝරාවය බවට එසවී කවියෙන්ම නිම වුවද, ඇගේ භූමිකාව නැවත ඇරඹිමට අවකාශය විවෘත වී ඇත.
දෙමළ කවියත් එහෙම තමයි, දෙවියන් නැමදීම, රජුන් නැමදීම, සමාජය සහ පවුල ඒ විදිහට තමයි ආවේ. හැබැයි නවීන විප්ලවවාදී කවියන් අප විසින්ම මරා දැමුවා. නන්දා මාලිනීට එහෙම උණේ නෑනෙ කියලා දෙමළ සහෝදර වරු කීවා. ඒකත් වැදගත්. ඒකයි මම කීවේ ඇය සිංහල විතරක් නොවෙයි, ජාතියේම යශෝරාවය උනා.



ඉතාම හරබර විවරණයක් වගේම විචාරයකුත් මේ තුළ තියෙනවා.
මෙහි අඩංගු එක වචනයක් ටිකක් නිර්වචනය කරන්න කියලා හිතුණා. ඒ තමයි ‘හෙළයා’ කියන වචනය.
‘සිංහලයා’ කියන වචනය යෙදුවහම, ‘සිංහල’ කියන ජාතිය මත පදනම් වෙන ජන වර්ගීකරණයක්. නමුත් ‘හෙළයා’ කියන වචනය එවැනි අර්ථයකින් නෙමෙයි යෙදෙන්නේ. මගේ තියෙන සීමිත දැනීමට අනුව, ‘හෙළයා’ කියන්නේ හෙළ දීපයේ වාසය කරන්නා කියන තේරුමෙන් එන්නේ. ඒ නිසාම තමයි ‘තුන් හෙළේ කැලෑ තුළ’ කියන යෙදුම නන්දා මාලිනීගේ ඒ ගීතයට යෙදෙන්නේ.
‘තුන් හෙළය’ කියන්නේ අතීතයේ ඉඳලා හෙළදිව රුහුණු, මායා, පිහිටි කියන ප්‍රදේශ තුනකට බෙදලා භාවිතයේ යෙදුණු නිසයි.