“එවිට අපට මහා ලොකු දේවල් පෙනෙන්නේම නැත. මහා විශාලයට පෙනෙන්නේ ඉතාම කුඩා දේවල්ය” දැන් ඉතින් ඉතිරි හරිය ඔබට කියන්නට මට ලොකු වෙහෙසක් ගන්නට සිදු නොවේ. මා කියන්නේ, මා එදා කුඩා මිනිසකු බවට පත් වූවාට පසු කතාවය. (මිනිසා යනු ජෙන්ඩ බේස්ඩ් වචනයක් ලෙස නොගෙන ගැහැණු පිරිමි කාටත් කියන පොදු නාමය ලෙස සැලකුව මනාය) මෙසේ වැඩුණු මිනිසෙක්ව හිඳ හදිසියේ කුරා කූඹියෙකු තරම් කුඩා වන්නටත්, ආපිට පෙර තරමට විශාල වන්නටත් බලපාන හේතු එක් එක් මිනිසාට වෙන වෙනස්ය.’ හෙන වෙනස්’ පවා ය. එබැවින් හේතු පැහැදිලි නොකරමි. වඩා වැදගත් වෙනුවෙන් එසේ කුඩා වෙමින් විශාල වෙමින් මේ යන ගමනේදී අපට හමුවන අප දැන කියාගන්නා දෑ ගැන වඩාත් සවිඥානික වීමය”
මේ ” ලිලිත්ලාහි ” ,”ක්ෂුද්‍ර ” තුළ කුරා කුහුඹුවකු හරහා ගයනි අපට අප අභිමුඛ කරන ආකාරයයි. මිනිස් පැවැත්මේ එක් එක් නිමේෂයන්හි විවිධ වාස්තවික හේතු සාධක පදනම්ව ක්ෂුද්රත්වය හෝ විසල් බව නීර්ණය කෙරේ.
අපගේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාවන් සදහා බාහිර හේතු පදනම් වේ. ගයනි නිමවන” ක්ෂුද්‍ර” එය නිරූපණය කරනුයේ දුහුවිල්ලක් හා නාසයක් පමණක් කිඹුහුමක් නිපදවන්නේ නැත.දුහුවිල්ලක් දැකීමට දෑසක්ද ආලෝකයක්ද ආවැසිය. ආලෝකය පරාවර්තනව දෑස් දුහුවිල්ල ස්පර්ශ කිරීමෙන් වන සංඥාව හරහා කිඹුහුම නිර්මාණය වේ ..
ගයනි ගුරුගේ ලිලිත්ලා හරහා ගොඩ නංවන මේ අපූර්ව ආත්ම භාෂණය කියවන්නා තුළ තිගැස්මක්…
ආලෝකාත්මක අභ්‍යන්තරීය කිදා බැසීමක් සමග ස්වයං ගවේෂණයක් සදහා පොළඹවනු ලබයි.
“ලිලිත්ලා” අපූර්ව නිදහස්කාමී නිර්මාණ සංවාදයකි. සිය කථනය විකාශනය සදහා ගයනි භාෂාත්මක සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඇයටම ආවේණික නව බසක් අත් හදා බලයි . කියවන්නා ඒ බස තුළ විටෙක නිරායාසයෙන් හා විටෙක ආයාසයෙන් කථනය හා බද්ධ වෙමින් ඛණ්ඩනය වෙමින් මග සොයමින් මං මුලාවෙමින් නිර්මාණය වින්දන අභ්‍යාසයක නිරත වීමට ගයනි භාෂාත්මක අවකාශයක් විවර කරයි.
ගයනිගේ භාෂාව මෙන්ම ඇය ගොඩනංවන කතිකාවද ගැඹුරු සංවාදයකි. අප අත් විදින ඵලයන්හි හේතු සෙවීම අසීරු කර්තව්‍යයකි.හේතු සොයමින් අප සැම ඉබා ගාතේ යන්නෝ වෙමු.නිසි ප්රවේශයන් හදුනා ගැනීමට නම් අප සමාජය තුළ සැරිසැරිය යුතුය. සැලැස්මකට අනුව සමාජීය ඥානනය ලැබගත නොහැක. අහඹුු සැරිසැරීමකින් අපට එය අභිමුඛ වනු ඇත.
අනුභූතීන් අටක් ඔස්සේ “ලිලිත්ලා” ලාංකික සාහිත්‍ය තුළ පශ්චාත් නූතනවාදී ස්ත්රීමය සලකුණක් තබනුයේ අපූර්ව නිර්මාණාත්මක කතිකාවකට ඉඩ හසර සලසමිනි.
” ඉතින්,මේ ඒ පූසාය” අපගේ ජීවිතයෙහි නිරන්තරයෙන් දැවටෙන පූසා මවිල් ගහෙන් ගහට අලුතින් උපද්දවමින් පූසාගේ හැඩය,හැසිරීම,ශබ්ද විලාසය,සුරතලය සහ බොහෝ සියුම් දෑ නව්‍ය ආකාරයකින් විදහාලමින් ගයනි පඨකයාට වෙනස් හා අලුත් පූසකු මුණ ගස්වයි. ඇය ගැහැනියගේ සිත පූසාගේ සිතට ආසන්නව සංකේතවත් කරමින් එක අතගෑවිල්ලකින් සියලු වේදනා දරා සිටින්නියන් දෙස සෝපාහාසාත්මක බැල්ලමක් හෙලයි.
ගැහැනිය ගේ හැගීම් මනෝභාවයන් වටිනාකම් කියවා නොගන්නා සමාජ සංස්කෘතික දේශපාලනය ගයනි සියුම්ව විදහාලයි. කතා කියවන, ලියන හෝ වෙනත් කාර්යයකට වඩා ගැහැනියකට ගෘහමය සංස්කෘතියෙන් උරුම කරන්නාවූ කාර්යයන් මෙන්ම ආර්ථික දේශපාලන ක්‍රියාවලිය තුළ ජනතාව මුහුණ දෙන පීඩනය ට එරෙහිව ලේඛිකාවගේ සියුම් උත්ප්රාසාත්මක පෙනී සිටීම පූස් සංවාදය හා මිශ්‍රව ඇත. ගයනි උඩු පෙළ කථනය තුළ යටි පෙළේ කථනයන් රැසක් නිර්මාණය කරන්නීය.
“රොටි කන්නේ නෑ කියල බෑ ඉතින්. අදට කමු,මං මාගරින් ටිකක් ගාලා දෙන්නං, බත් කන්න බෑ කිට්සි තුන් වේලට. බලන්නකො ,හැම සැරේම වගේ මේ වතාවෙත් වුණේ මෝල් කාරයන්ගේ මිම්මට මැහුම් වාසිය ඇරලා පාරිභෝගිකයගෙ රෙද්ද කපපු එකනෙ”
“ඔයා දන්නවද කිට්සි හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ එකයි ග්‍රෑම් හයසීයයි යන්නේ. ඒ වී ටික හාල් කිලෝ එකක් කරන ප්‍රොසෙස් එකට, එතකොට වැඩ කරන මිනිහට ඕන නම් ටිප් එකකුත් දෙන්න තව රුපියල් විස්සක් යයි. ඇත්තටම එච්චර යන්නෙත් නෑ. ඒ සමීකරණයට දාලා හාල් මිල තීරණය කරන්න බැරි ඇයි…”


