මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද “සියාමා “නව කතාව කියවා අවසන් වූ සැණින් මට අසන්නට ලැබුණේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ට රහසිගතව ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එරට මූලධාර්මික විනිසුරුවකුගේ තීන්දුවකට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියම වූ ඛලීජා නම් 22හැවිරිදි ලාබාල තරුණියගේ ශෝචනීය කතාවයි.
එම පුවත සමග ආසියාතික දැරියන් හා ස්ත්‍රීන් මුහුණ දී සිටින ලිංගික වධ හිංසනයන්ගේ දැරිය නොහැකි පීඩනය හා ඔවුන්ගේ මරණය තීන්දු කිරීමේ කෲර සංස්කෘතික ම්ලේච්ජත්වයෙ යථාවෙන් බිදක් නිර්මාණාත්මක සාකච්ජාවට ගැනීම පිළිබද “සියාමා” කතුවර අජිත් ධර්ම ට ස්තූති පූර්වක වෙමි.
විශේෂයෙන් ළමා වියෙහි පටන් සම්ප්‍රදායික පුරුෂ මූලධර්මවාදී ආකල්ප හා මතවාදයන් විසින් මෙහෙයවනු ලබන සමාජ දේශපාලන සංස්කෘතියක ගැහැනිය යනු තමාට ඇවැසි ලෙස පාලනය කළ හැකි සහ මෙහය විය හැකි සහ ඇවසි ඕනෑම විටක ඝාතනයට ලක් කළ හැකි මනුෂ්‍යත්වයේ අයිතීන් අහිමි ජන කොටසක් බවට පත් කරනු ලැබ තිබීම 21වන සිය වසෙහි පළමු කාර්තුව අවසන පවා ලොව අත් විදිමින් සිටින බරපතල සාපරාධයකි.
මෙම මූලධාර්මික නීති රීති හා භාවිතාවන් ,සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීම හෝ එයට පටහැනි වීම සපුරා තහනම් වන අතර එවැනි විටක මරණය නියත වන අතර එය සාමූහිකව සාධාරණීකරණය කරන ම්ලේච්ජත්වයක් හමුවේ තමත් ලොවක් නිහඩව නිසලව සිටීම බරපතල දේශපාලන මානවීය ඛේදවාචකයකි.
පසු ගිය සියවස අග භාගයේ ස්ත්‍රීත්වයට එරෙහි මූලධාර්මික සම්ප්‍රදායික නීති මගින් ස්ත්‍රිය පීඩනයට පත් වන නිසා “ෂාරියා නීතිය” මානවීය ලෙස සංශෝධනය විය යුතුයි අදහස් ප්‍රකාශ කිරීම නිසා තස්ලිමා නස්රින් ලේඛිකාව මූලධාර්මවාදීන්ගේ උදහසට ලක්ව ඇයට මරණ දංඩනය නියම කළ අතර ඇයට සිය උපන් දේශය වන බංග්ලාදේශයෙන් පිටමන්ව රහසිගත ජීවිතයක් ගත කිරීමට මේ දක්වා සිදුව ඇත.
වර්තමාන ඇෆ්ගනිස්තායේ ශිෂ්‍යාවන්ට ද්විතීක හා උසස් අධ්‍යාපනය තහනම් වන අතර ක්‍රීඩා හා කළා කටයුතු අදහස් පළ කිරීම ලේඛනයේ නිරත වීම නිදහස් ලෙස ඇද පැළදීම පමණක් නොව නිදහසේ මහමග හුදකලාව ගමන් කිරීම පවා තහනම්ය.මෙවන් දේශපාලන සංස්කෘතික යථාර්ථයක් පවතින දකුණු ආසියාතික සංදර්භයක් තුළ සියාමා හරහා අජිත් මෙම ප්රචණ්ඩත්වයේ සංස්කෘතිය ගැඹුරු ලෙස ප්‍රශ්න කරමින් එයට එරෙහි සමාජ සංස්කෘතික දේශපාලන කතිකාවක් ගොඩ නංවන්න වෑයම් කිරීම බෙහෙවින් ඇගයිය යුතුය.මෙහිලා කිසියම් ආගමකට හෝ ජනවර්ගයකට එරෙහි දේශපාලන සංවාදයක් ගොඩ නැංවීමේ අපේක්ෂාවක් කතුවරයාට නැති අතර ඔහු මේ අනුභූතීන් විදහා දක්වමින් උත්සාහ කරනුයේ ගැහැනියට එරෙහි මේ ප්රචණ්ඩත්වය නිමා කිරීමේ මානුෂීය සිතා බැලීමක් කරා යොමු කිරීමේ විශ්වීය සංවාදයක් ගොඩ නැංවීමය.
මෙය එක් සංස්කෘතියකට එක් ජන වර්ගයකට ඌනනය නොකර ගැඹුරින් සිතා බලන්නේ නම් ඕනෑම ජන වර්ගයක් තුළ අන්තවාදී මූලධර්මීය මතවාදයන් හා සැහැසි පුරුෂ මූලික භාවිතාවන් අතර පිළිඹිඹු විය හැකි ප්රචණ්ඩත්වයකි.
2015 දී සිංහල බසින් සියාමා ලිවීම අරඹන අජිත් එය පළමුවෙන් සිංහල බසින් පළ කරයි.අනතුරුව ඔහු විසින්ම එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර 2025 වසරේ අග ප්‍රකාශයට පත් කරයි. මා විසින් කියවූයේ අජිත් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද සියාමා නවකතාවයි. සියාමා ප්රවේශයයේදීම එය රචනා කිරීමේ අරමුණ අජිත් සදහන් කරණුයේ පිරිමින්,ගැහැනුන් හෝ ළමුන් කිසිදු වර්ගීකරණයකින් සීමා කිරීමකින් තොරව නිදහසේ හා රිසි ලෙස ජීවත් වීමට වන අයිතිය තහවුරු කිරීමේ හා එකිනෙකාගේ නිදහස් ලෙස ජීවත් වීමේ අයිතියට කිසිවකු බාධා නොපැමිණ විය යුතුය යන දෘෂ්ටිය සමාජගත කිරීම මේ සදහා පදනම් වූ වගයි. අපගේ අත්දැකීම් ,පරිකල්පන මත පදනම්ව මානවීයත්වයෙන් අනූන නිදහස් ලොවක් ගොඩ නැංවීම සදහා යමකු දක්වන දායකත්වය අතරට අජිත් සියාමා සමග එක්ව ඇත.ඒ හරහා ලොව පුරුෂෝත්තමවාදය,ආගම් වාදය,වර්ගවාදය හෝ කවරාකාරයේ හෝ මනුෂ්‍ය ප්‍රජාවට පීඩාකාරී අන්තවාදයන් බැහැර කිරීම සදහා ඔහු මෙමගින් අපට ආරාධනා කරයි.
ලංඩනයේ විශ්වවිද්‍යාලයක ව්ද්යාපති උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස දැන හදුනා ගන්නා ප්‍රියාන් හා සියාමා අතර ගොඩ නැගෙන සමීප මිත්‍රත්වයේදී සියාමා තම ජීවිතයේ ළමාකළ සිට මුහුණ දුන් මනුෂ්‍යත්වයට දැරිය නොහැකි වුවද රහසිගතව බොහෝ කල් දරා සිටි වේදනාවක් මුදා හැරීම කේන්ද්‍ර කරගෙන සියාමාහි සංවාදය ගලා යයි.
සරල බස් වහරකින් සමාජ ප්රචණ්ඩත්වය සියුම්ව විදහා දක්වන මෙම කෘතියේ සාහිත්‍ය පාර්ශ්වය වෙනුවට එයට පාදකව ඇති දේශපාලන සංස්කෘතික දෘෂ්ටිවාදයෙහි තීව්රත්වය කෙරෙහි අවධානය යොමු කරනු කැමැත්තෙමි.
සියාමා හා ප්‍රියාන් අතර ගොඩ නැංවෙනුයේ ඉතාම මෘදු මානවීය සබදතාවකි.එය සියාමා ළමා කළ සිට මුහුණ දුන් ප්රචණ්ඩ පුරුෂෝත්තමවාදී හිංසනයන්ගෙන් සපුරා වෙනස් වූ මිත්‍රශීලී ඇසුරකි.එවන් පුරුෂයකු හමුවේ සියාමා සිය සංස්කෘතිය තුළ විදි අනේක විදි සංස්කෘතික හා ලිංගිකමය සැහැසිකම් නිසා අභ්‍යන්තරිකව තෙරපා සිටි මහත් මානසික ආතතියක් මුදා හරිනුයේ ඇගේ අත්දැකීම් කතනය පුරා ඒ ආත්මීය වේදනාවෙන් ඇය මෙන්ම එවන් කුරිරු වේදනාවන්ගෙන් අපේ සෑම දැරියක්ම සෑම සහෝදරියක්ම නිදහස් විය යුතුය යන සිතුවිල්ල සංවේදී සහෘද මනස් තුළ ජනිත කරවමිනි.
මෙම නවකතාව තුළ විටෙක ඉතා සියුම් සංස්කෘතික භාවිතාවන් පවා අවධාරණය කෙරෙයි. සියාමා අයත් සංස්කෘතියේ දැරියක වැඩිවිය පැමිණීම ආශ්‍රිතව අනුගමනය කරන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර තවමත් බොහෝ ජන සමාජවල විද්‍යාත්මක වශයෙන් මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය පිළි නොගන්නා යථාර්තය පිළිඹිඹු කරයි.ඒ හරහා දැරියගේ නිදහස හා අයිතීන් සීමා කිරීම හෝ සපුරා උල්ලංඝණය වීම විවිධ සංස්කෘතීන්හි මේ දක්වා බල පැවැත් වෙන අයුරු නිරූපණය කෙරෙනුයේ දැරියකගේ උපතේ සිට ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියා වලීන් පවා මිත්‍යාවේ අගතීන්ගෙන් වැසී ඇති අයුරු පාඨකයා හමුවේ ගෙන හැර පාමිනි.
සියාමා වැඩි වියට පත් වීම සමග දින ගණනාවක් අධ්‍යාපනයේ අයිතිය අහිමි කරනු ලැබ පාසැල් නොගොස් නිවසට යාබද කුටියක රදවා තබයි.මෙහිදී ඇගේ සොයුරිය ට හුදකලාව පාසැල් යාමට සිදුවේ.15 හැවිරිදි පාසැල් දැරියක වන ලමීසා, සියාමාගේ සොයුරිය ගමෙහි බලවත් හා ධනවත් තරුණයකු විසින් බලහත්කාරීව පැහැර ගෙන ගොස් රදවා තබා ගෙන ඇයව තිරස්තීන ලිංගික හිංසනයන්ට ලක් කර අවසානයේ ඇයව ඝාතනය කර ඇගේ සිරුරේ අවයව කපා කොටා උගුලුවා නිරුවත් සිරුර මහ මග ප්‍රදර්ශනය කරනු ලැබීමේ කෲරත්වය අත් විදීමට සියාමාට හා ඇගේ පවුලට සිදුවේ.එයට හේතු වනුයේ පූර්වයෙන් ඔහු මෙම බාල වයස්කාර පාසැල් දැරියට කරන විවාහ යෝජනාව ඇය හා ඇගේ මාපියන් ප්‍රතිකේෂ්ප කිරීමය. ප්රගතිශීලී චින්තනයකින් හා නිදහස් චර්යාවකට යොමු වූ සියාමාගේ පියා නවීන සිතුවිලි වලින් පෝෂිත බුද්ධිමතෙකි.ඒ අනුව ඔහු සිය දියණියන්ට සිය අයිතීන් භුක්ති විදීමට නිදහස දී තිබීමට එරෙහිව සාම්ප්රයික මූලධර්මවාදීහු ඔවුන් සමූල ඝාතනය කර විනාශ කිරීමට හේතු කර ගත්හ.
මේ ම්ලේච්ජ ඝාතනය කිසිවකු හෙළා නොදකින අතර මූලධාර්මික මතවාද දැරීම සහ ඔවුනගේ බලයට අභියෝග කිරීමට බියවීම් නිසා ගම්මුන් සියාමා පවුල කෲර ලෙස හුදකලා කරයි.අවසානයේ අන්තවාදය විසින් මානුෂීයත්වය යටපත් කර සියාමා හැර ඇගේ පවුලම ඝාතනය කරනු ලබයි.
මරණයෙන් ගැලවුනද 14 හැවිරිදි දැරියක වන ඇයට මුහුණ පෑමට සිදුවන්නේ ලිංගික හිංසක වධකාගාරයක සමූහ ලිංගික වධ හිංසනයන්ගේ අනවරත ගොදුරක් වීමටය.
ලොව බොහෝ රාජ්‍යයන්හි දැරියන් හා තරුණියන් මෙවැනි ලිංගික වධකාගාර තුළ අනේක විද ලිංගික හිංසනයන්ට ගොදුරු වීමේ ගෝලීය ලිංගික වධ හිංසනයක් වන බව යම් ආකාරයකින් දැන සිටියද එය මැඩ පැවැත් වීම සදහා ශක්තිමත් හා ප්‍රමාණාත්මක දේශපාලන නෛතික ක්‍රියාවලියක් හා සංවාදයක්මෙතෙක් ලොව ක්‍රියාත්මක නොවේ.ඒ නිසාම අපේ දියණියන් හා සොයුරියන් තව දුරටත් හුදු ලිංගික මෙවලම් වශයෙන් ලොව පුරා පීඩා විදිමින් පසුවේ.
එවැනි දේශපාලන පසුතලයකට සියාමා හරහා මේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි කතිකාවට ලාංකිකයකු වශයෙන් අජිත් ධර්ම, ප්‍රවේශ වීම සැබවින්ම අගයමි.මෙහිදී කතුවරයා මෙය හුදු එක් රාජ්‍යයක සංස්කෘතියකට හෝ එක් සමාජ ස්තරයකට සීමා නොකර ලොව විවිධ රාජ්‍යයන්හි සිදුවන මෙවන් ප්‍රචණ්ඩත්වයන්ට නිදසුන් අනුභූතින් ගෙන හැර දක්වයි.ඒ තුළින් ඔහු මෙම ප්රචණ්ඩත්වය ලොව පුරා සාමාන්‍යකරණය වී ඇති අයුරු දක්වයි.
සියාමා 14 හැවිරිදි දැරියක ලෙස වැඩිහිටියන් අතින් සමූහ ලිංගික අපයෝජනයට හිංසනයට ලක් වීම නිරූපණය කිරීම මා වඩාත් සංවේදනාවට පත් කරලන සිදුවීමකි. මගේ ප්රබන්ධකරණයේදීද “සාක්කි නැති කන්යාපටලයක්” අනුභූතිය පාදක කරගෙන දැරියන්ට එරෙහි මෙම ලිංගික සාපරාධයට එරෙහි සමාජ නෛතික කතිකාවක් ගොඩ නංවන්න 2003 වසරේදී මදුසමය අහිමි මංගල්‍යය කෘතියේදී මමද වෑයම් කළ නිසා මට “සියාමා” වඩාත් සමීපව දැනේ.
මෙවන් දැරියන් ඉතා කලාතුරකින් මෙවන් වධකාගාරවලින් පලා යාම හෝ මුදා ගනු ලැබුවද ඔවුනගේ ජීවිතය පුරා ඒ වේදනාව අභ්‍යන්තරිකව කිදා බැස ඔවුන් නිරන්තරයෙන් මානසික පීඩනයෙන් පෙළන අයුරුද අජිත් ධර්ම මනාව නිරූපණය කරයි.කතාව අවසන් වනුයේ සියාමා ඉතා දැඩි මානසික ආතතිකයක් දරා සිට අවසානයේ පිළිකා රෝගයට ගොදුරුව මිය යාමෙනි.
බලහත්කාරී ලිංගික හිංසනයේ ම්ලේච්ජත්වය සේම මනුෂ්‍ය සබදතා අතර විවිධ ලිංගික දිශානතීන්හි වන නිදහස් සැහැල්ලු බැදීම් ද අජිත් සියාමා හරහා යම් ආකාරයකින් ස්පර්ශ කරයි.
පුරුෂ දෘෂ්ටිකෝණයකින් ස්ත්රීත්වයේ මානවියත්වය දෙස ඉතා සියුම් හා මෘදු නිදහස් බැල්මක් හෙලූ කතුවරයා අද ලොව අපේක්ෂා කරන සහෝදරත්වයේ නව කතිකාවක් ගොඩ නංවමින් පුරුෂ කේන්ද්‍රීය සමාජ දේශපාලන සංස්කෘතික ප්රචණ්ඩ ව්‍යුහාත්මක මතවාදී රාමුව අභියෝගයට ලක් කරනු ලබයි.
සියාමා කියවා අවසන මම දුරකතනයෙන් අජිත් අමතා ඔහුගේ සහෝදරාත්මක මානවීය දෘෂ්ටිය අගයද්දී ඔහු මට ප්‍රතිචාර දැක්වූවේ
“තිලිනා මට දියණියන් දෙදෙනෙකු සිටිනවා” යනුවෙනි.ලොව සෑම පියකුටම,සොහොයුරෙකුටම එසේ සිතීමේ සවිඥානික භාවයක් වේ නම් මේ ලොව ස්ත්‍රියට එරෙහි ප්රචණ්ඩත්වය නිමා කරලීමට එම සිතීමම ප්‍රවේශයක් වනු ඇත.
අජිත්ගේ එකී කියමන මට ෂෝන් පෝල් සාස්ත්‍රේ ගේ කියමනක් සිහි ගන්වයි.”ඔබේ ක්‍රියාව ඔබ කවුරු දැයි පිළිඹිඹු කරයි.”එනම් ඔබේ ක්‍රියාව ඔබේ දේශපාලන දෘෂ්ටිය හා මානවීයත්වය විදහා දක්වයි.
“සියාමා “තුළින් ඉස්මතු කරන සංවාදය නොතකා හැරීම හෝ යටපත් කිරීම නොව එය වඩාත් ඉස්මතු කිරීම අපගේ ස්ත්රීන්ට එරෙහි ලිංගික ප්රචණ්ඩත්වය හා සංස්කෘතික ප්රචණ්ඩත්වය නිම කිරීමට අප දක්වන දායකත්වයක් වනු ඇත.
—තිලිනා වීරසිංහ— — 2026 ජනවාරි 31–


