1883 මාර්තු 14… හරියටම දවල් එකහමාරට ලෝකයේ මහා ප්‍රාඥයෙක් තමන්ගේ අවසන් හුස්ම හෙළුවා. ඒ ගැන මාක්ස්ගේ සදාකාලික මිතුරා වුණු ෆ්රෙඩ්රික් එංගල්ස් කිව්වේ, “ජීවත්ව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා නිහඬ වුණා“ කියල. අද ඒ අසිරිමත් මිනිසා, කාල් මාක්ස් අපෙන් සමුගෙන වසර 143 ක් සපිරෙනවා.
හයිගේට් සුසාන භූමියේදී එදා එංගල්ස් කිව්වා වගේ, මාක්ස් කියන්නේ නිකම්ම නිකම් පොත් ලියපු දාර්ශනිකයෙක් නෙවෙයි. මාක්ස් යනු අන් සියල්ලටම වඩා “විප්ලවවාදියෙක්“. ධනේශ්වර ක්රමයේ යකඩ සපත්තු වලට පෑගුණු පීඩිත මිනිස්සුන්ට තමන්ගේ විමුක්තියේ දොරටුව පෙන්නපු මග පෙන්වන්නාය. මම මාක්ස් ගැන මුලින්ම අහන්නේ මීට අවුරුදු 45කට විතර කලින්. එදා මාක්ස්ගේ නම මට බොහෝ සමීප වුනා. ඒ හඬට මා කොතරම් හුරු වෙලා හිටියත්, ඇත්තටම ඒ අදහස් මට වඩාත්ම දැනෙන්නට ගත්තේ ජීවිත අත්දැකීම් එක්කයි. අද ලෝකයේ තියෙන අසාධාරණය, අයුක්තිය සහ සමාජ විවේචන දිහා බලද්දී මාක්ස්ගේ අගය එදාට වඩා සිය දහස් වාරයක් ගැඹුරින් දැනෙනවා.
වර්තමානයේ මම ජීවත්ව සිටින තැන ඉඳන් මාක්ස් සැතපී ඉන්න හයිගේට් සුසාන බූමියට තියෙන්නේ පැයකටත් අඩු දුරක්. ඒ නිහඬ සුසාන භූමියට මම කිහිප වතාවක්ම ගියා. ඒ යන හැම වෙලාවකම දැනෙන විශේෂ කාරණයක් තියෙනවා. ඒ ලෝකයේ පීඩිත මිනිස්සු තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න මේ මිනිසාගෙන් ලැබුණු ඒ මහා දාර්ශනික පදනම ගැන තවමත් නොදැන සිටීම මොන තරම්නම් ඉතිහාසයේ සරදමක් ද කියන එක ගැන….
ඒ අතර ඇතැමුන් කියනවා දැන් මාක්ස්වාදය යල් පැන ගිහින් කියලත්. එහෙම හිතන එක මාක්ස්වාදයේ වරදක් නෙවෙයි, ඒක ඒ අයගේ සමාජ චලිතය ගැන තියෙන අනවබෝධය විතරයි. ලෝකය තාමත් කැරකෙන්නේ ඒ සූරාකෑම මත නම්, මාක්ස්වාදය කවදාවත් යල් පනින්නේ නැහැ! මාක්ස්ගේ තියෙන විශේෂත්වය තමයි “සමාජ චලිතය“ ගැන ඔහුට තිබුණු ඒ අපූර්ව අවබෝධය. සමාජය කියන්නේ ස්වභාවිකවම එක තැන පල්වෙන දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා, චලනය වෙනවා. මිනිස්සුන්ගේ මැදිහත්වීම මත සමාජය ඉස්සරහට ගමන් කරනවා. කාල් මාක්ස් සහ ෆ්රෙඩ්රික් එංගල්ස් යන දෙදෙනාම එක්ව මෙම දර්ශනය ගොඩනැඟූ නමුත්, එය “මාක්ස්වාදය“ ලෙස හැඳින්වීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනව. දර්ශනයේ හරය වන “අතිරික්ත අගය පිළිබඳ සිද්ධාන්තය“ සහ “ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී විග්‍රහය“ වැනි මූලික සොයාගැනීම්වල ගෞරවය හිමිවන්නේ කාල් මාක්ස්ට. එංගල්ස් පවා ප්‍රකාශ කළේ, තමන් දක්ෂයෙකු වුවත් මාක්ස් යනු “ප්රාඥයෙකු“ බවයි.
ෆ්රෙඩ්රික් එංගල්ස් හැම විටම උත්සාහ කළේ මාක්ස්ව ඉදිරියට ගෙන ඒමට. මාක්ස්ගේ මරණයෙන් පසු, ඔහුගේ අසම්පූර්ණව තිබූ ‘ප්රාග්ධනය‘ කෘතියේ දෙවන සහ තෙවන වෙළුම් සංස්කරණය කරල ප්‍රකාශයට පත් කළේ එංගල්ස් විසින්. එහෙම වුනත් එංගල්ස් ඒ ගැන පැවසුවේ තමන් කළේ “දෙවන වයලීනය වැයීම“ වැනි කාර්යයක් බවයි. එනම්, ප්‍රධාන නායකත්වය මාක්ස් සතු බව ඔහු පිළිගත්තේය. ඔවුනතර තිබුණේ අසිරිමත් මිත්‍රත්වයකි…
මාක්ස් අපිට ඉගැන්නුවේ ලෝකය විග්රහ කරන්න විතරක් නෙවෙයි, ලෝකය වෙනස් කරන්න. අදත්, හෙටත් යුක්තිය වෙනුවෙන් පීඩිත මිනිහෙක් නගන හැම හඬකම, හැම හුස්මකම මාක්ස්වාදයේ ජීවගුණය අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙනවා.
මාක්ස්ගේ නම මානව ඉතිහාසය පුරාම පවතිනු ඇත! ඔහුගේ අමරණීය කාර්යභාරය ද එසේම පවතිනු ඇත!
ජායාරූප වල දැක්වෙන්නේ රෝහණ විජේවීර සහෝදරයා ලන්ඩනයේ හයිගේට්ස් සුසාන භූමිය වෙත ගොස් මාක්ස්ගේ සොහොන අසල ඔහුට උපහාර දැක්වූ අවස්තාවක් සහ වත්මන් කියුබානු ජනාධිපති Miguel diaz canel මාක්ස්ගේ සොහොන අභියස උපහාර දැක්වූ මොහොතක්.
– ගාමිණී මුතුකුමාරණ



මාක්ස්ගේ සොහොන අභියස උපහාර දැක්වූ මොහොතක්.
test2
හෙටත් යුක්තිය වෙනුවෙන් පීඩිත මිනිහෙක් නගන හැම